එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Tuesday 23 February 2016

෴ තත් අතර රැඳුන සොඳුරු හදවත්෴








                          "දරුවනේ වන මලක් යනු
                          එක රැයක අසිරිය නම් නොවෙයි
                          ගහත් පොළවත් වින්ද දුක්ගිනි
                           නිබඳ සිහිපත් කළ යුතුයි....”

එහෙම ලිව්වෙ ප්‍රවීන ගිත රචක රත්න ශ්‍රී විජේසිංහයන්. මේ අදහස පූර්විකාවක් විදියට තියාගන්න ඕනෙ වුනේ මම, ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරයන් සහ සංගීතවේදී රෝහණ ධර්මකීර්ති එක්ව කළ “දෑස දල්වා  ආදරෙන්” ගිතය වෙනුවෙන් පුංචි සටහනක් තියන්න ඕනෙ කියල හිතුන නිසා.  ඒ මම ලියූ මගේ ගීතය ගැන  කිසිවක් ලියන්න නොවෙයි. ‍ගීතයක් බිහිවිමට වඩා එහා ගිය ඊට පසුබිමෙන් වූ හද බැඳීමක් ගැන ලියන්න අවශ්‍ය වූ නිසා ‍.
මගේ පාසල් අවදියේ මට නිර්මාණකරණයට බලපෑවෙ ප්‍රාදේශිය ගුවන්විදුලියක්ව පවතින රජරට සේවය  සහ  එවකට රජරට සේවය හරහා බිහිවූ නිර්මාණ. ඒක  අපිට අලුතින් හිතන්න පුරුදු කළ හොඳ තෝතැන්නක්.

ඒ රජර‍ට සේවයේ එදා හිටපු සංගීතවේදී විශාරද ගුණදාස කපුගේමහතා , සහ ළබැඳි ප්‍රවීන ගායන ශිල්පින් දෙපලක් වන කරුණාරත්න දිවුල්ගනේ  සහ ජයතිලක බණ්ඩාර මහත්වරු  එදා සිටම අද දක්වා මගේ නිර්මාවලට බලපෑ නිර්මාණ කරුවන්. මේ මිත්‍ර ජාලයේ හිටපු රෝහණ ධර්මකීර්ති සහ නාලක අංජන කුමාර සංගීතවේදීන්  මට හඳුනගන්න ලැබෙන්නෙ අනූව දශකයේ කම්පන ගී ප්‍රසංගයත් එක්ක. රෝහණ වයලීනයෙන් සහ නාලක ගිටාරයෙන්සහ  ජයතිලක බණ්ඩාර සිතාරයෙන්ද  කම්පන ගී ප්‍රසංගයේ ආරම්භයේ සිට අවසානය දක්වාම කපුගේගේ ගායනයට  සමසේ දායක වූ වාද්‍ය ශිල්පීන්. ඒ ප්‍රසංගයේ නිවේදන කටයුතු කළේ  ජයතිලක බණ්ඩාරයන්.   ඉඩක් ලැබෙන විදියට අත්වැල් ගායනයෙන් සහය වූ කරුණාරත්න දිවුල්ගනේ  සහ ජයතිලක බණ්ඩාර යන දෙදෙනාත් හිටියා.  මේ සහෘද බැඳිමේ හිටපු කපුගේ, දිවුල්ගනේ ජයතිලක බණ්ඩාර වගේම රෝහණ ධර්මකීර්ති සහ නාලක අංජන කුමාරත් ඒ සහෆද මිත්‍රත්වයේ කොටස්කරුවෝ. ගුරු ගෝල සබඳතාවයක් මේ සියළු දෙනා අතර නොතිබුණත් ශක්තිමත් හදබසක් මුසුවූ බැඳිමක් තිබුණා. ඒ ශක්තිමත් බැඳිම තුළ බිහිවුණ සියළු නිර්මාණ අදටත් ශක්තිමත්සහ සදා නොවෙනස් නිර්මාණ . ඒ නිසාම එදවස  කපුගේ, දිවුල්ගනේ සහ ජයතිලක බණ්ඩාර යන නිර්මාණ කරුවන් අතින්, ඒ සියලු දෙනා ගෙන්  බිහිවූ සහ හුවමාරුවූ ගීත වල රෝහණගෙ  වයලීන ජයතිලක බණ්ඩාරයන්ගේ සිතාරය සහ නාලකගේ ගිටාරයත් තිබුණා. ඒ නිසා මේ පස්දෙනාම තත් අතර සිරවූ සොඳුරු හදවත්. රෝහණ ධර්මකීර්ති ජයතිලක බණ්ඩාර  යන දෙදෙනාත් ඒ තත් අතර සිරවුණ සොඳුරු හදවත්දෙකක් බව ඒකාලෙ ඉඳලම මාත් දැනගෙන හිටිය.

අපි තුන්දෙනා කවදාවත්ම එකම නිර්මාණ ඉසව්වකදි හමුවෙලා තිබුණෙ නැතිවුණත් .සෑහෙන කාලෙක ඉඳලම අපි තුන්දෙනා කරපු නිර්මාණයක් දකින්න පෙරුම්පුරාගෙන බලාගෙන හිටිපු කාලයක් මටත් තිබුණ.


ඒ අපේක්ෂාව තමයි පහුගිය දවසක ගීතයක් බවට පත්වී ඉටුවුණේ. ඒ ගිතය ලියැවුණේ වසර දෙකකට විතර කලින්. මම කුරුටුගාන පදවැල්  බොහෝ වෙලාවට මුලින්ම කියවන්නෙ රෝහණ. ඇතැම් වෙලාවට සුදුසු ශිල්පියෙකු හෝ හිල්පිණියක වෙත යොමු වෙන්නෙත් රෝහණ අතින්මයි. ඒ විදියට රෝහණ අතට පත් වුණ මේ ගීතයේ ගීත රචකයා සංගීතඥයා සහ ගායන ශිල්පියා තිදෙනාම එක්ව නිතර කතාබහ කරමින් හදපු ගීතයක් විදියටයි. සමහර වෙලාවට දුරින් හිටපු ජයතිලක බණ්ඩාරයන් අපි දෙන්නත් එක්ක සම්බන්ධ වුනේ නූතන තාක්ෂණය ඔස්සේ. 


 මේ සියළු හද බැඳීම් වල තියෙන සොඳුරුම තැන් සරල ගී ගීතනුවකින් හෝ ගායනයකින්  සරසනවාට වඩා වැඩි හද ගැඹුරුම තැනක සඟවාගෙන සිටි හැගීම් බව වැටහෙන්නෙ  නිර්මාණයක් ඔස්සේ එකිනෙකා නැවත නැවතත් හවුවුණාම. එහෙම හදපු මේ ගිතයේ සංගීතය පටිගත කිරීම සිදුවුනේ මීට වසරකට කලින්ඒ 2014 වර්ෂයේ මැද හරියෙදි විතර . ඊට හරිටම වසරකට පස්සෙ තමයි මේ ගිතයට ජයතිලක බණ්ඩාරයන්ගෙ හඬ මුසු වෙන්නෙ. අතීත බැඳීම් අයෙමත් අළුත් වුනේ තාලෙකට පස්සෙ. 

 කාලය මොන තරම් වේගයෙන් ගලා ගියත්, මේ සියළු දෙනා  කුමන ක්ෂේත්‍රයක නියැලුණත්, කුමන මතයක් දැරුවත්, නිර්මාණයකදී හමුවන හමුවන හද බව ඒ අතීත මිහිරි බැඳීම් නැවත නැවතත් මතු කරවන්නක්. ඒ බැඳීම් එදා වාගෙම අදත් හෙටත් මතු දවසකටත් එහෙමයි.

 රත්න ශ්‍රී විජේසිංහයන් “දරුවනේ වන මලක් යනු  එක රැයක අසිරිය නම් නොවෙයි  - ගහත් පොළවත් වින්ද දුක්ගිනි - නිබඳ සිහිපත් කළ යුතුයි....” කියල ලිව්වෙ හිතළුවක් විදියට නෙවෙයි. රචකයෙක් ගීතයක් ලිවිම, සංගීතවේදියෙක් තනුවක් නිර්මාණය කිරීම වගේම ඒ ගීතය ගායන ශිල්පියෙක් හෝ ශිල්පිණියක් ඉදිරිපත් කිරිම එක රාත්‍රියකින් එහෙමත් නැත්නම් සතියකින්  දෙකකින් බිහිවන්නක් නොව ඒ නිර්මාණය දිගුකාලීන අත්දැකීම් සහ සොඳුරු හමුවීම්වල  ප්‍රතිඵලයක් කියල මට හිතෙන්නෙ ඒ නිසා.

මේ තියෙන්නෙ ජයතිලක බණ්ඩාරයන්, රෝහණ ධර්මකීර්ති සහ මමත් එකතුවී කරපු ඒ ගීතය

                                                  




(කාලෙකට පස්සෙ පොඩි අත්හදා බැලිමක් ළුහයෙන් කළ ලිපියක්  පැරණි මතකය අලුත් වෙන්නත් එක්ක)
Related Posts Plugin for WordPress, Blogger...