එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Wednesday 18 June 2014

෴ නුවරකලාවියෙන් හමා ආ මී මල් සුවඳ෴






මහින්ද දිසානායක රජරට පුරෝගාමී ගිත රචක පරපුරේ විසල් නුග රුකකි. රජරට සේවය හරහා බිහිවූ රජරට ගීත සාහිත්‍යයේ සරුසාරම ගී අස්වැන්නේ හිමිකරුවා ඔහු ය. රජරටම ඉපිද රජරටම නිහඬ දිවියක් ගෙවන මහින්ද දිසානායකයන් ගීතයේ සාහිත්‍යමය රසය පිළිබඳව වැඩියෙන්ම උනන්දුවී නිර්මාණකරණයේ යෙදන ගීත රචකයෙකි. තමන් අතින්  ලියැවෙන හැම ගීයතක්ම සාහිත්‍යමය අතින් පෝෂණය කර රසික සවන්පත් අතර රඳවන්නට වැඩිම කැමැත්තක් දක්වයි.  මහින්ද දිසානායකයන් අතින් ලියැවුණ ජනප්‍රිය ගීත රැසකි. ඒවා ඔහු අතින් ලියැවුණ ගීත බව දන්නේ ඉතාමත් සුළු පිරිසකි. මේ වන  ගීත හාරසියයකට ආසන්න ප්‍රමාණයක් ලියා ඇති මහින්ද දිසානායකයන්  ඇසට අසුවන මායිමේ (1994 රාජ්‍ය සාහිත්‍ය සම්මාන), වී පැදුරෙන් (2001) සහ බැන්ද අමුණ (2010) වශයෙන් ගීත රචනා කෘති 03 ක් ලියා පළකර ගිතයේ සාහිත්‍යමය පැත්ත පෝෂණය කර ඇත.

මහින්ද දිසානායකයන් 35 වසරක් පුරා නිර්මාණකරණයේ නියැලෙමින් සිට ඒ මහා ගී ගඟුලෙන් ගීත 72 ක් තෝරාගෙන ගී තැටි (සීඩී) 04 ක් පසුගියදා නිර්මාණය කර එළිදැක්වී ය. මහින්ද දිසානායකයන් ඒ මධුර ගීතාවලිය ඇතුළත් සීඩී 04 නම් කර ඇත්තේ “ආවාදෝ සංසාරේ, පින්සර ඔබ හැර, කුරුලු රුවින් සහ සුනිල දියේ“ යනුවෙනි.  මේ ගීත 72 ක ඇතුළත් සංගත තැටි හතර මහින්ද දිසානායකයන්ගේ ගී පද රචනාවල අග්‍ර ඵලයයි.

නිර්මාණ එළිදැක්වීම්, දොරට වැඩුම් කොතෙකුත් තිබියදී නිහඬව ම සිදු කළ මේ නිර්මාණ එළි දැක්ම පිළිබඳ මා කලින්ම දැන සිටි නිසා කුමක් හෝ සටහන් ඒ වෙනුවෙන් තැබිය යුතු යැයි කල්පනා කරමි‍. කලාකරුවකු වශයෙන් ජනප්‍රියත්වය හඹා නොගොස් කරන මෙවන් නිර්මාණාත්මක  කටයුතුවලට සහෘද රසිකයන් වශයෙන් අපගේද සහයෝගයක් දිය යුතු බැවින් මේ ගී තැටි 04 අරමුණු කරගෙන මේ සටහන අද අස්වැන්නෙන් තබමි.

මහින්ද දිසානායකයන්ට සිය ගීතාවලියෙන් ගීත 72 ක් තෝරාගන්නට අපහසු වූවා සේම දින ගණනක් තිස්සේ නිරන්තරයෙන් මේ ගී එකතුව ඇසූ මටද අස්වැන්නට යොදා ගැනිමට  ඒ ගිත අතරින් ගීත කීපයක් තෝරාගැනීම ඉතාමත් අසීරු කරුණක් ම විය.  මහින්ද දිසානායකයන් ලියූ ජනප්‍රිය ගීත අන්තර්ජාලයෙන් සොයාගත හැකි නිසා කලාතුරකින් අහන්නට ලැබෙන, එසේම නිරන්තරයෙන් අහන්නට නොලැබෙන  ගීත කිපයක් මේ සටහනට ඇතුළත් කර ඔබට අසන්නට සලස්වමි.

මහින්ද දිසානායක අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ සිංහල විෂය භාර ගුරුවරයෙකු ලෙස දීර්ඝ කාලයක් ගුරු වෘත්තියේ නියැලෙමින් අනතරුව උතුරු මැද පළාතේ සිංහල විෂය පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයකු ලෙසද කාලයක් කටයුතු කර විශ්‍රාම ලැබීය.

මහින්ද දිසානායකයන් 1979 දී රජරට සේවය ඇරඹීමෙන් පසු රජරට සේවා නිර්මාණ පුනරුදයෙන් නවක නිර්මාණකරුවන්ට ලැබුණ අත්වැල ඔස්සේ අබිසෙස් ලැබූ ගීත රචකයෙකි.
නදින් බමර ගී සරින් පිරුණු විල්
තෙරේ පවන වැලපේ
නිලින් බැබලි තුරුලතා පිපුණු හිම
පෙනේ ඉපල් ලෙසිනේ

ගී පද : මහින්ද දිසානායක / සංගීතය: සිරිල් පෙරේරා / ගැයුම: කරුණාරත්න දිවුල්ගනේ

මේ  මහින්ද දිසානායකයන් අතින් ලියැවුණ පළමු ගී පදමාලාවයි. රජරට සේවයේ නිර්මාණය වූ නව පදමාලා සංගීතමය වැඩසටහනකට එය එදා ගැයුවේද නවක ගායකයෙක් වශයෙන් දිවුල්ගනේ ය. දිවුල්ගනේ සහ මහින්ද දිසානායක නාමයන් මුල්වරට  සංගීත ක්ෂේත්‍රෙය් සටහන් වන්නේ ඒ අයුරිනි. එදවස රජරට සිටි මට දිවුල්ගනේගේ ඒ මුල්ම ගීතය තවමත්  මනසේ නින්නාද දෙන ගීයකි.  ඒ අයුරින් ගීත රචනයට පිවිසි මහින්ද දිසානායකයන් අනතුරුව රටම දන්නා ගීත රචකයෙකු බවට පත්වන්නේ රුවක් ඇදෙනවා කවුදෝ එනවා ගීතය ඔස්සේ ය.

                   (1)     ඇසට අසුවන මායිමේ
                             බමර සැණකෙළි මල් විලේ
                             ළසෝ ලැව් ගිනි ඇවිලුණා සිත
                             ඹබ මගෙන් වෙන් වූ දිනේ

                (2)        පින්සර ඔබ හැර පිළිබඳ
                             සිතුවිලි වෙනතක දලුලා දෝ
                             ඔබ ගැන මා ගැන මතකය
                             අමතක කරන්න පුළුවන් දෝ

 මේ ආදී වශයෙන් මහින්ද - කපුගේ - දිවුල්ගනේ සුසංයෝග වෙමින් එකල එක පෙළට ගී රැසක්  නිර්මාණය විය. මේ සියල්ලම රසාලිප්ත ගීත වශයෙන් ගීත සාහිත්‍යයට ඇතුළත් වී තිබේ.

නිර්මාණකරුවාගේ අරමුණ විය යුත්තේ සිය අත්දැකීම් සහෘදයන්ගේ සංවේදනයට පාත්‍රවන අයුරින් නිර්මාණකරණයේ නියැලීමයි. පළමුව නිර්මාණකරුවා වඩාත් සංවේදී පුද්ගලයෙකු බවට පත්විය යුත්තේද එවන් අවස්ථාවක සිය සහෘදයා බවට පත්විමට තරම්  නිවුණු සිත් ඇත්තෙකු විය යුත්තේද  ඒ නිසා ය. මිහන්ද දිසානායකයන් අපට හමුවන්නේ සහෘද සිත් සංවේදනයට පාත්‍ර කරන එබඳු නිර්මාණකරුවකු වශයෙනි.

ඔහු ගීත රචනයේදී තවත් නිර්මාණකරුවකුගේ  ඇසට හසු නොවූ අපූර්ව අනුභූතින් සොයාගනී. ඇතැම් විට එතුමාගේ පරිකල්පන සිතුවිල වලට හසුවන ඒ අනුභූතින් වල අක්මුල් සොයා යද්දී අපට හමුවන්නේ ඒ අනුභූතියේ මූලාශ්‍රය බෞද්ධ සාහිත්‍ය, සංස්කෘත සාහිත්‍ය, සම්භාව්‍ය සිංහල සාහිත්‍යය හෝ ජනකවි සාහිත්‍ය ඇතුළු අපගේ චිරන්තන සාහිත්‍යයෙන් පෝෂණය වූ අතීත අනුභූතින් බවයි. අපේ ඒ චිරන්තන සාහිත්‍ය මනාව පරිශීලනය කරමින්  සහ ගවේෂණය කරමින් මහින්ද දිසානායකයන් ඒ ඔස්සේ වර්තමානයට ගැලපෙන  නැවුම් අනුභූතින් සපයාගනී.

නිදසුනක් ලෙස මතු දැක්වෙන ගීතය අසා බලන්න. අතිශයින් සරල සුන්දර අත්දැකීමක් වුව ගීතයෙන් ගොඩනැගෙන්නේ නැවුම් වටපිටාවකි. ප්‍රේමයේ අපූර්වත්වය කියා පාන්නට පසුබිම හදාගන්නේ රජරට ගැමි පරිසරයයි.  බැන්ද අමුණු ඇල වේලි බහුලව හමුවන්නේ රජරට ප්‍රදේශයෙනි. එහෙත් මහින්ද දිසානායකයන් ඒ පරිසරයේ සිටිමන් බැන්ද අමුණ හසුකරගන්නේ ඔහුගේ ගීතයේ ප්‍රේමාන්විත සංකල්පයක් විදහා දක්වන්නටය.

බැන්ද අමුණ විලක් වුණේ
මලක් පිපුණු දාක
මගේ හිතේ මල් පිපුණේ
ඔබ හමුවුණු දාක

කෙන්ද කන්ද වෙන්නෙ හිතේ
වැඩි ලෙංගතු කමට
සිතිවිලි කන්දකි ඔබ ගැන
කියමිද වෙන කාට

මලින් මලට වෙනස වෙසෙස
හැඩය සුවඳ පාට
මලේ මහිම හැඳිනිය හැකි වෙද
ඔබ හැර වෙ කාට

ගී පද මාලාව: මහින්ද දිසානායක
සංගිතය: නවරත්න ගමගේ
ගැයුම: දිස්නා අතපත්තු

                     

ගීත රචනයේදී තමා වෙත එළඹෙන්නේ ප්‍රවීන ශිල්පියෙක්ද නැති නම් නවකයෙක්ද යන්න මහින්ද දිසානායකයන්ට වෙනසක් නැත. තමා වෙත ගීතයක් ලියා ගැනිමට එන කවරෙකුට වුව වඩාත් හොඳ සාධාරණයක් මහින්ද දිසානායකයන් අතින් ඉටුවේ. ගීතය රසික හදවතට සමීප කරවන්නේ  ගයකයා හෝ ගායිකාව වන නිසා ඔහු හෝ ඇය කවරකු වුවද ඔහුට හො ඇයට ගැයිමට ලැබෙන පදමාලව සාහිත්‍යමය අතින් පිරිපුන් ගීතයකි.

ගීතයේ පදමාලාව  සාහිත්‍යයෙන් පෝෂණය වූ විට එහි සංගීත නිර්මාණය හෝ ගායන පාර්ශවය නිතැතින්ම සාර්ථක වන බව මහින්ද දිසානායකයන් අතින් ලියැවුණ ගීත හොඳම නිදසුන් සපයයි. ඒ නිසා මහින්ද දිසානායකයන් අතින් ලියැවෙන ගීයක් නිතැතින්ම සාර්ථක ගීයක් බවට පත්වේ. මේ  ගී පදමාලා වල ඇති සාහිත්‍යමය ගුණය සහ කාව්‍යමය ගුණය ඔහු සතු භාෂාමය හැකියාවේ මෙවලම් ය. නිරන්තරයෙන් නෑසුනත් මේ ගී ඊට කදිම නිදසුන් සපයන්නේ ඒ නිසා ය. මේ මතු දැක්වෙන ශිල්පියාගේ නම අපට හුරු පුරුදු නොවූවද එහි ඇති ගීතවත් බව හඳුනාගන්නට අපහසු නොවේ.

පෙම් රැහැනින් මා වෙලන්න
ඔබෙ සෙවනේ මට හිඳින්න
මම ආසයි ඔබත් සමග
                             මේ දිවි මග එකට යන්න

මගෙ ආදර විල් ජලයේ
නිල් මානෙල් මලක් වෙන්න
රේණු සලා මල් මුවරද
සිහිල් දියට එක් කරන්න

මම රැය නම් ඔබ පුර හඳ
සිත් අහසේ නැගී එන්න
සඳ සිහිලේ තැවුල් නිවා
රැයත් සමග මැකී යන්න

ගී පද මාලාව: මහින්ද දිසානායක
සංගිතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: අජන්තා නාකන්දල

                             
මහින්ද දිසානායකයන්ගේ අතින් ලියැවුණ මෙවන් සොඳුරු මිහිරැති ගී පදවැල් අතර සිරවුණ කපුගේ - දිවුල්ගනේ- මහින්ද සුසංයෝගය කෙබඳු එකක් දැයි වටහා ගන්නට මේ ගිත තැටි 04 ප්‍රමාණවත් ය. මේ ගී තැටි වලින් වැඩිම ගීත ප්‍රමාණයක සංගීත නිමැවුම් කරුවා කපුගේ ය. මේ තැටිවල වැඩිම ගීත ප්‍රමාණයක හඬ මුසුව දිවුල්ගනේ ගෙනි. ඒ සා විශාල ගී ප්‍රමාණයක මේතරම් සුවිසල් සහසම්බන්ධතාවය ගොඩනැගෙන්නේ රජරට සේවය හරහාය. රජරට සේවය ප්‍රාදේශීය ගුවන් විදුලියක් වශයෙන් ගොඩ නැගෙන්නට මෙවන් ගිත සාහිත්‍යයක අඩිතාලම සඳහා මහින්ද දිසානායකයන්ගේ දායකත්වය අමතක කළ නොහැකිය. ඒ නිසාම කපුගේ - දිවුල්ගනේ - මහින්ද සහසම්බන්ධතාවය කොතරම් දුරට විහිදුන දැවැන්ත වෘක්ෂයක් වන්නේද යන්න මතු දැක්වෙන ගීතවලින් අවබෝධ කරගත හැකිය.

 “ඇසට අසුවන මායිමේ,  රුවක් ඇදෙනවා කවුදෝ එනවා, ස‍ඳේ සොමිගුණ, කුරුලු රුවින්, පින්සර ඔබ හැර, බිළිඳු පුතණුවන්, මුදු මුහුණේ සුව දැනුණේ, ඔබේ සෙවන මට නිවනක්, රමණිය වූ මරණීය වූ ජීවිතේ,“  ආදි ගිත ඊට නිදසුන් ය. මීට අමතරව වෙනත් සංගීත වේදීන්ගේ  සංගිතයට ගැයූ මහින්ද - දිවුල්ගනේ සංයෝගයෙන් බිහිවූ ගීත ප්‍රමාණය මිට වඩා වැඩිය. 

ඒ නිසා කපුගේ - දිවුල්ගනේ - මහින්ද සම්බන්ධතාවයේ  රුවගුණ දැක්වෙන එකදු ගීතයක් හෝ මීට එකතු නොකළ හොත් එය අඩුවක් වනු ඇති බව මටද දැනේ. එහෙයින් ඔබ කොතෙකුත් අසා ඇතත් මේ ගීතය මෙහි සටහන් කර තබමි.

නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුළු බිඳුවක් වුව මෙදා
මේ තරම් හිත පාරවන්නට
මගෙන් වරදක් වුණිද මන්දා

ඔබෙන් තොරවූ ලෝකයක් ගැන
හිතන්නටවත් හොහැකි හින්දා
ඔබේ සිත වෙන අතක රන්දා
එපා දුක ගෙන එන්න කැන්දා

ඔබේ රුව රසඳුනක්  වුවට
කමක් නෑ මට තවත් ඇසකට
නමුදු ඒ රුව තවත් කෙනෙකු‍ට
අයිති වනු බෑ දරාගන්නට

ගී පද මාලාව: මහින්ද දිසානායක
සංගිතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම: කරුණාරත්න දිවුල්ගනේ

                  
මහින්ද දිසානායකයන් සිංහල ගීතයට තිස්පස් වසරකට ආසන්න කාලයක් පුරා ලබාදුන් දායකත්වයේ  සාරවත්ම අස්වනුව වන්නේ මේ සංගත තැටි හතරය. ඒත් මීට කලින් ගිතයේ සාහිත්‍යමය පැත්ත පෝෂණය කිරීම සඳහා  ඔහු විසින් ලියා පළකළ කෘතීන් දායක වූවා සේම, ගීතය පිළිබඳ උනන්දු වන එය එසේ රස විඳින්නට කැමති, ගිතය ගැන හදාරන  රසිකයන්ට මහින්ද දිසානායකයන් නිර්මාණය කළ “ආවාදෝ සංසාරේ, කුරුළු රුවින්, පින්සර ඔබ හැර සහ සුනිල දියේ”  නමින් නම්කර ඇති මේ සී ඩී 04 රසිකයන්ගේ ගීත වශයෙන් ඇසීමට තිබූ ඒ අඩුව පුරවන්නට සමත් වනු ඇත.

නිර්මාණකරුවකුගේ අරමුණු දෙකකි. එහි පළමු වැන්න යථාර්තය නිරුපණය කිරීමයි. එයින් පවතින සමාජය සහ එහි පසුබිම වගේම යහපත් මිනිස් ජීවිතයක් ගතකරන්නට බාධා පමුණුවන දේශපාලනය, ආර්ථික සහ සාමාජීය ගැටලු යථාර්ථය නිරූපණයේදී නිර්මාණකරුවා අතින් කලාත්මකව ප්‍රති නිර්මාණය එහි දෙවැන්න හැඟීම් පෝෂණය කිරීමයි.  හැඟීම් පෝෂණය කිරීමේදී ඒ හා සමානවම රසිකයා හැඟීම් වලින් පිරපුන් සහෘදයෙකු  බවට පත්කරයි. බුද්ධිමත් රසික පාර්ශවයක් බිහිවන්නේ ඒ ඔස්සේය. හැඟීම් නිවැරදි අයුරින් ග්‍රහණය කරගත් මිනිසුන් හමුවන්නේ ඒ ඉසව් වලදීය. ආදරය ප්‍රේමය, දුක වැනිහැඟීම් වඩාත් සංවේදී ලෙස ග්‍රහණය කර ගැනිමට යමෙකු පොළඹවන්නේ මේ ක්‍රියාදාමයයි. මහින්ද දිසානායකයන් අතින් සිදුවන්නේ මිනිස් හැඟීම් ගීතයෙන් පෝෂණය කිරීමයි.

ආදරය, ප්‍රේමය වැනි කාරණාවලදී ඇතිවන බැඳීම් සහ බිඳ වැටීමෙන් ඇතිවන තැවුල් කාටත් පොදුය. බැඳීමක් බිඳ වැටුණු පසු  යළි කිසිදාක එකතු නොවනු ඇති සේම එවන් බිඳ වැටීමක්  පවා සතුටු සිතින් විඳගන්නටත් එතෙක් කල් වින්ද ආදරයේ අගය රැකගන්නටත් මහින්ද දිසානායකයන්ගේ බොහෝ ගීත අපට කියා දෙයි. අද දවසේ අපට නෑසෙන්නේ මෙබඳු සංකල්පනාවන් ය.

ඔබට එපා වන්නට පෙර
සමුගන්නට ඇත්නම් මට
සතුටු සිතින් මතු දවසක
අප හමුවේවි

සුවඳ හමන මලක් වෙලා
තුරුලිය මුදුනක පිපුණොත්
අත දිගුකර නෙලාගන්න
ඔබට හිතේ වී

පවසට පැන් පොදක් වෙලා
රුදු කතරක මතු වූවොත්
අහක නොදා දෝතින් ගෙන
බොන්න හිතේවී

ගී පද මාලාව: මහින්ද දිසානායක
සංගීතය: දර්ශන රුවන් දිසානායක
ගැයුම: ඇනස්ලි නානායක්කාර

                           
මේ ආකාරයට ආදරය, ප්‍රේමය, දුක සංතාපය පමණක් ‍නොව පරිසරය, සොබාදහම, බෞද්ධ දර්ශනය,  ආදී විවිධ තේමාවන්  ඔස්සේ දිග හැරෙන ගීත 72 කින් යුතු මේ ගිතාවලියේ ඔබට අසා හුරුපුරුදු  ගීත අතර හෙළැඹුල් මදහස, සුනිල දියේ, සොඳුරු වූ මිනිසා, දෙබැම දේදුණු ( අමරදේව), හිමි දෙසු බණ ( වික්ටර්), කරුණාරත්න දිවුල්ගනේගැයූ ඉහත දැක්වූ ගීත,  වී පැදුරෙන්, මගෙ ආදර පවසට ( ක්‍රිශාන්ත එරන්දක) ගම්මානේ සුවඳ ( ජානක වික්‍රමසිංහ) රුවක් ඇදෙනවා, ආවාදෝ සංසාරේ, දියාලුවෝ, මා හඹා ගිය සම්පතක්, කුරුලු රුවින්, ලිහිණියෝ (කපුගේ) ඔබ අසා සිටී නම් , මං නැති දා ( නෙලූ අධිකාරී) ආදී ගිත මෙන්ම සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, අමරසිරි පීර්ස්, මාලනී බුලත් සිංහල, නන්දා මාලනී, නීලා, අබේවර්ධන බාලසූරිය,  දීපිකා, චන්දන, නිරෝෂා, ශානිකා, සෝමතිලක ජයමහ, සනත් ටී.එම්, කිත්සිරි,  බන්දුල විජේවීර, සේනානායක වේරලියද්ද සහ චන්ද්‍රසේන හෙට්ටි ආරච්චි ගැයූ කිසිදා මතකයෙන් බැහැරව නොයන ගී මාලාවක් මේ තැටි හතරට සංගෘහිත වී තිබේ.

මෙම ගී තැටි 04 මහින්ද දිසානායකයන්ගේම නිෂ්පාදනයක් වන අතර දැනට මරදානේ සුරස පොත් හලෙන් ද, නුගේගොඩ සරසවි පොත් හල ඇතුළු සියලුම සරසවි පොත්හල්වලින්ද, නුගේගොඩ සීමාසිහිත සිංග්ලංකා සමාගමෙන්ද ඔබට ලබාගත හැකි ය. මේ ගිත තැටි ගැන හෝ මේ ගී ගැන වෙනත් විස්තර හා තොරතුරු දැනගැනිමට අවශ්‍යවන්නේ නම්

                                               මහින්ද දිසානායක
                                               අංක 3064 , තුන්වන පියවර,
                                               අනුරාධපුරය

යන ලිපිනයෙන් හෝ දුරකතන අංක 025 2235050 මගින් හෝ 0779205557  ඔස්සේ අදාල තොරතුරු ලබාගත හැකිය. විද්‍යුත් තැපැල් මගින් විමසන්නේ නම්  gayaman@gmail.com  විමසිය හැක.

                              ආවාදෝ සංසාරේ මා හා බැඳී
සැමදා  පෑහී මාගේ සෙවනැල්ල සේ

ඔරුවක් පා වුණා පාලුවේ සාගරේ
මගියෙක් යැ වුණා සීරුවේ සීතලේ
මිහිරේ ගී ගැයුණාවේ
තනිය නසා - තනිය නසා

කතරේ වාලුකා පෑයුමෙන් වේලුනා
වැහැලා ඒ බිමේ මී මලක් පීදුනා
සිහිල ලබා සිහිලැල්ලේ
නිවී ගියා - නිවී ගියා

ගී පද මාලාව: මහින්ද දිසානායක
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම: විශාරද ගුණදාස කපුගේ

                   














Monday 2 June 2014

෴මේ දිවිය අතර මග කිම නතර කළේ මෙලෙසින්෴





                           

                             ෴ නිවුණු පහන්෴

ලංකාවෙ මාධ්‍ය කලාව තුළ සුවිශේෂ මෙහෙවරක් කළ සුවිශේෂ හැකියාවන් ගෙන් යුතු සහෘදයන් දෙනෛකුගේ අකල් සමුගැනීම් පසුගිය දා සටහන් විය. එක් ශෝක ජනක පුවතක් වාර්තාවී එහි උණුසුම පහව යන්නටත් කලින් අනෙක් අකල් වියෝව සටහන් විය. එක පෙළට එකම ආසන්නයේ සිදුවූ මේ මේ වියෝවන් දෙකම දරාගන්න අපහසුම වෙන්වීම් දෙකක් වුයේ ඔවුන් දෙදෙනාම කලාවට බෙහෙවින්ම ඇලුම් කළ සහෘදයන් දෙදෙනෙකු වූ නිසා ය . කලාවට වගේ ම මිනිස් කමටත් එකසේ  ආදරේ කරපු ඒ ආදරේ ගැන අපේ හදවත් අවදි කළ මේ අකල් සමුගැනීම් වලට තවමත් පසු තැවෙන්නට සිදුව ඇත්තේ  ඒ නිසා ය. සංජය සේනානායක සහ විපුල් ධර්මප්‍රිය ජයසේකර  මිනිස් හදවත් වලට ආදරේ කියාදුන්න, උගන්වපු සුන්දරම හදවත් දෙකක්. මේ දෙදෙනා ම  සමාන රේඛාවක අන්ත දෙකක් නියෝජනය කළ  දෙදෙනෙක්. සංජය  සහ විපුල් ගැන වෙන වෙනම කතා කළ යුතු වුණත් යළිත් කිසිම දාක ලියවෙන්නට නො හැකි මේ සුන්දරම හදවත් දෙක අද අස්වැන්න එකම තලයක බහා සටහන් කරන්නෙ මේ ප්‍රේමණිය චරිත දෙකෙන් අපට ඉගනගන්න බොහෝ දේ තියෙන නිසා.


සංජය ගැනත් විපුල් ගැනත්  අන්තර්ජාලයේත් පුවත් පත් ඔස්සේත්  බොහෝ දේ ලියැවුණා. විපුල් ගැන මා සුමිතුරු යසනාත් ධම්මික බණ්ඩාර හෘදයාංගම සටහනක් ලිව්ව යසනාත් සිතුවිලි ඔස්සේ. යසනාත් විපුල් ගැන සහ ඔහුගේ ගිත කලාව ඔහුගේ ගීත ඇසුරින් තැබූ සටහනට ඇතුළත් නොවූ විපුල් ලියූ ගීත කීපයක් සංජයත්, විපුල් වෙනුවෙනුත් ලියා තබන්න කල්පනා වුණේ ඒ නිසා.

අස්වැන්න ලියන මට කිසිම දවසක සංජය  හමුවෙලා නෑ.  ඒත් විපුල් ම‍ට සමීප බෙහෙවින්ම ළඟින් ඇසුරු කළ මිත්‍රයෙක්. ඒ වගේම  සංජය ඇසුරු කළ බොහෝ දෙනෙක් කීවේ හඳුනාගත යුතුම චරිතයක් මට මග හැරුනු බවයි. 

සංජය සේනානායක ලංකාවෙ ජනප්‍රිය සංස්කෘතිය තුළ ජනප්‍රිය නො වූ ඒත් කලා ක්ෂේත්‍රෙය් කෙනෙකුට එක එල්ලේ වටහා ගැනිමට නොහැකි අපූරු චරිතයක්. මීට මාස කිපයකට කලින්  අපෙන් සමුගත්  මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ  සුවිශේෂ හැකියාවන්ගෙන් යුතුව කලා ක්ෂේත්‍රය නියෝජනය කළ කලාකාරිනියක වූ සුනිලා අබේසේකර සහ 71 කැරැල්ලේ  දේශපාලන ක්‍රියාකාරිකයකු වූ කේලි සේනානායකගේ පුතණුවන් ය. අම්මාගේ කලාව සහ සමාජ සේවාවාත් තාත්තාගේ දේශපාලනයේ හැඩරුවත් සංජයට පිහිටල තිබුණේ නිතැතින්ම. ඒත් සංජය කිසිම විටක තමන්ට ආලෝකය සැපයූ ඒ ප්‍රධාන ධාරාවන් ගෙන් එළිය ලැබුවත් ඔහු අනුගමනය කළේ ඒ ආලෝකවලින් මිදී තමන් නිවරදි යැයි හැඟෙන හිතුන දේ කරන  නිදහස් ජීවිතයකි. එසේම මාධ්‍ය ක්ෂේත්‍රය ඔහු හඳුනාගෙන තිබුණෙ නිදහස් මාධ්‍ය වේදියෙක් ලෙසිනි.

වීඩියෝ වාර්තා වැඩසටහන් ක්ෂේත්‍රයේ විශිෂ්ඨයකු වූ සංජය දෙස් විදෙස් ආයතන රැසක් සමග කටයුතු තිබුණි. සංජය සතු වූ තියුණු විචාරශීලීත්වය, ඕනෑම අභියෝගයකට මුහුණ දිමට තරම් වූ එඩිතර කමත්, කැමරාකරණයෙහි පෑ සුවිශේෂ හැකියාවත්  වැඩසටහන් සංස්කරණ කටයුතු වලදි දැක්වූ දක්ෂතාවයත් ඔහු සතු වූ බස හැසිර වීමේ චතුර බවත් නිසා  සංජය මාධ්‍ය ලෝකයේ සුවිෂේෂ චරිතයක් බවට පත්විය. වාර්තා චිත්‍රපට නිර්මානකරණයේ සියලූ අදියරයන්, විශිෂ්ට අන්දමින් තනිව නිම කළ හැකි තරුණ ශිල්පියකු පිළිබඳව ලංකාවෙන් හමුවන හොඳම ශිල්පීයත්වය දකින්නට ලැබෙන්නේ සංජයගෙනි.

අව්‍යාජ ගුණයත්, මිත්‍රත්වය හා අධීනත්වයත් ආත්මය කොටගත් සංජය, ඔහුගේ සමකාලීනයන් අතර ගෞරවයට පාත්‍ර වූවෙකි. මිනිස් වර්ගයා පෙළෙන බාහිර හා අභ්‍යන්තර අගතීන්ට එරෙහිව ඔහු සිය කෙටි කාලීන දිවිය තුළ ආකල්ප වලින්ද, පැවැත්මෙන්ද අරගල කළේය. සටන්කාමී බවෙන්ද නිරන්තරයෙන් ප්‍රති විරුද්ධ දිසාවෙන් හොඳමඅදහසක් ගොනු කර ගැනීමේඅපූර්ව හැකියාවෙන්ද යුක්ත විය.නිරන්තරයෙන් ගඟ ගලන්නේ එකම දිහාවකට වුවත් සජය ඊට ප්‍රතිවිරුද්ධ දෙසට උඩුගංබලා පිහිනන්නෙකු වන්නේ ඒ නිසාය.  

යන්ග් ඒෂියා ටෙලිවිෂන් ආයතනය සමග සිය වෘත්තීය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ සංජය ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයෙහි ආචාර්යවරයකු ලෙසත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙසත් කෙටි කලක් සේවය කළේ ය. රාමුගත ජීවිතයට අකමැති වූ ඔහු නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කිරීමට වඩාත් ප්‍රිය කළේ ය. සංජය ගැලවුමක් නැති පිළිකා රෝගය වැළඳුන පසුව ඊට එරෙහිව අරගල කරන්නට නොගියේ ය. දිනෙන් දින තමා කරා ළංවූ මරණයේ සීතල බව උණුසුම් ලෙස ආදරෙයන් වැළඳ ගන්නට ඔහු බලා සිටියේ ය. ඒ සීතලම මොහොත ඉක්මනින් පැමිණීම අපේක්ෂවෙන් අවසන් සතියේ ඔහු සියලු ප්‍රතිකාර අත්හිටුවා මරණයට තමා කරා පැමිණෙන්නට දෑත දිගු කළේ ය. එම ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටු කරමින් මරණය ඔහු කරා පැමිණියේ ය. 

 සංජීව ආදරය කළේ මුස්ලිම් තරුණියකට ය. එහෙව් ආදරය මා දැක තිබුණේ ගීත සාහිත්‍යයේ පමණි. “රාමලාන් සඳ බලන්න එන්න පාතිමා” ප්‍රේමාරධනාවක් අප ගීතයෙන් අසා තිබුණත් එහි සත්‍යයක් සොයාගැනිම අසීරු විය. එහෙත් එවන් ගීයක රැඳුන සත්‍ය යථාර්ථය ඇසුරින්  සැබෑ නොවන ලෝකයේ සිතුවිලි සැබෑ කරන්නට තරම් සංජය ආදරණිය මිනිසකු බවට පත්විය. 

ජාතිවාදය ආගම්වාදය අවුලුවා තබන මිනිසුන් අතරේ සංජය මිනිසකු බවට පත්වන්නේ ඒ නිසා ය. මිනිසුන් අතර හොඳම මිනිසකු වන්නේ ඒ නිසා ය. සංජය මිනිසුන් අතර සැබෑ මිනිසකු වන්නේත්, ඔහු ඇසුරු කල අය අතර තේරුම් ගැනිමට අපහසුම චරිතයක් වන්නේත් ඒ නිසා ය. ඒ සංජගේ පිළිවෙත ය. සංජය පිළිකාවකින් පෙළෙන විට ඔහුගේ රෝගී බව දැන දැනම ඔහුගේ ආරක්ෂකයා වෙමින් බැඳි පෙම අත නොහැර ඔහු අතගෙන ඇය වැට කඩොලු බිඳ දමා ඔහු වෙත පැමිණ සිටියා ය. අපට අහිමි වූයේ එවන්  සොඳුරු හදවතක් ඇත්තෙකි. සංජයගේ ඒ උතුම් ආදරය සැබැවින්ම ගීයකි. සංජය ගීත කලාවට සම්බන්ධ නො වූවත්  විපුල් සිය ආත්මය කොටගත් ගීතයෙන් එවන් වූ දරිද්‍ර එසේත් නැත්නම් කටුක යථාර්ථයෙත්, ආදරයේත් බැඳිම විපුල් ගීතයෙන් අපට කියන්නේ මේ අයුරිනි.

 පෙළට රිය පෙරහැර මඟ නැත
දොරින් දොරට සැරසිලි හැඩ වැඩ නැත
හැඩට රුවට සළු පිළිද නැතේ  මට
එනමුදු අද ඔබෙ මනමාලිය මම

තුඩින් තුඩට ආසිරි ගී පද නැත
ඇතෙක් බරට දායාදය මට නැත
බුලත් හුරුලු දී අවසර ගෙන නැත
එනමුදු අද ඔබෙ මනමාලිය මම

නිමල සිතින් හද නො මළ පැතුම් ගෙන
රන් රස සිතුවිලි ඇත සිත සතුටට
නෙත් සිත් දහසක් නැතුවට වටකොට
ඔබ අතගෙන එමි සසර පුරුද්දට

ගී පද මාලාව: විපුල් ධර්මප්‍රිය ජයසේකර
සංගීතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: විශාරද මාලනී බුලත් සිංහල




විපුල්  ධර්මප්‍රිය ජයසේකර මට හඳුන ගන්න ලැබුණ දිගුකාලීන මිතුරෙක්. කලා ලෝකයේ හමුවෙන දුර්ලභ චරිතයක්. ක්ෂේත්‍රෙයේ කලාකරුවකුගේ නිර්මාණ එළිදැක්විමක් පුවත් පත් සාකාච්ඡාවක් එහෙමත් නැත්නම් මුහුරත් උළෙලක්, දොරට වැඩුමක් තිබුනේ නම් විපුල් එතැන සිටියේ ය. එයින් නොනැවතී ඇතැම් විට එම වැඩ සටහනේ සම්බන්ධීකරන කටයුත්ත හෝ ප්‍රචාරක කටයුත්ත  බාරගන්නේ විපුල් ය. ඒ නිසා ම විපුල්ට හොඳ මාධ්‍ය සම්බන්ධයක් තිබුණි. ඕනැම මාධ්‍ය ආයතනයකින් යම් දෙයක් කරවා ගැනීමට තරම් හැකියාවක් විපුල්ට තිබුණි. ඒ නිසාම විපුල්ට හොඳ මිතුරු සේනාවක් සිටියේය.

විපුල් ගුවන් විදුලියට ගොඩවන්නේ ඉර ඇහැරෙන්න කලියෙනි. ආයෙත් ආපසු නිවසට යන්නේ  තරු නිදා වැටෙන හෝරාවේ දීය . විපුල්ට දවසට පැය විසි හතරකට වඩා තිබුණා යැයි හැඟෙන්නේ දවසේ කල කී දේ මොනවාද කියා සොයා බලන විට ය.
කතා නොකර අඳුරේ යන නොපෙනී
තරු කැකුලක් සේ ඔබ ඇයි නයනී
මහද මල් විලේ තනියට නොරැඳී
කොයිබ ඇදෙනවද ගමනින් හදිසී

සිතුවිල්ලක් වී ඔබ කැළඹෙයි මා සිත මත්තේ
හසරැල්ලක් වී රඟදෙයි ඔබ මා මුව මඬලේ
නෙතු කැල්මක් වී සැඟවෙයි ඔබ මා නෙතු අතරේ
කඳුළැල්ලක් වී වැළපෙයි ඔබ මා හද මැදුරේ

අතුපතරේ හිඳිමින් පෙම් ගී ගයනා විහඟුන්
අපටද ඒ ඔච්චම් කර රඟන්නෙ රැඟුමන්
ඔබ සිතන පරිදි සෙනෙහෙ මගේ නොකරමි සරදම්
මංදා තව අදහන්නට බැරි දෝ සිත මනරම්

ගී පද මාලාව: විපුල් ධර්මප්‍රිය ජයසේකර
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම: බණ්ඩාර අතාවුද



1992 පමණ වන විට සහන නිවේදකයෙකු වශයෙන් ගුවන් විදුලියට පා තබන  විට විපුල් පත්තර කලාව නිසා සාහිත්‍යමය දැනුමෙන් පෝෂණය වූ මිනිසකුව සිටියේ ය. ඒ නිසා ම ගුවන් විදුලි මැදිරියේ දී බස හැසිරවිම ඔහුට අපහසු නොවී ය. නිරන්තර පොත පත කියවීම,  මාධ්‍ය ක්ෂේත්‍රයේ ලැබූ අත්දැකීම් සහ මනා පරිචයන් ගුවන් විදුලි මැදිරිය තුළදී විපුල්ට වටිනා මෙවලම් විය. මැදිරියේ ගතකරන හෝරා කීපය විපුල්ගේ පරිණත හඬ විසි දෙවසරක් පුරා ලොව  පුරා විසිර ගියේ එපරිද්දෙනි. විපුල් ලෝබ නැතුව ශිල්පීන්ගේ නිර්මාණ වලට මුල්තැන දුන්නේ ය. ගුවන් විදුලියේ එවකට හිටපු දැවැන්තයන් බඳු බණ්ඩාර කේ විජේතුංග, ප්‍රේමකීර්ති ද අල්විස්, කේ.ඩී.කේ. ධර්මවර්ධන  වැනි ජ්‍යෙෂ්ඨ නිවේදකයන්ගේ රුව ගුණ සේ ම බහ හැසිරවීම ද වාග් කෞෂල්‍යය ද නො අඩුව ම විපුල්ට තිබුණි. විපුල් පරිණත නිවේදකයෙකු වන්නේ ඒ අයුරිනි.

විපුල්ගේ ගීත අපට ඇසෙන්නට පටන් ගන්නේ අසූව දශකයේ අග භාගයේ දී ය. ඒ අපි අපේ පාසල් සමයේ 10- 12 පන්තිවල ඉගනුම ලබන සමයේ ය. ආරම්භක යුගයේ විපුල් ලියූ ගීත ඇසෙන්නට පටන් ගත්තේ තරුණ සේවා සභාවට සම්බන්ධ වූ ශිල්පීන්ගේ හ‍ඬෙනි. ෂර්ලි වෛජයන්ත ගුණසිංහ, චන්ද්‍රසේන හෙටිටිආරච්චි, චන්ද්‍රලේඛා පෙරේරා, ශාලිත අබේවික්‍රමගේ ගීත පෝෂණය වූයේ විපුල්ගේ ගීතවලිනි. “සුළ‍ඟේ ලෙලෙනා මල් සේ දඟපා”  විපුල්ගේ පළමු පද රචනය විපුල් මෙන්ම ශාලිතද රටම හඳුනාගන්නට සමත් වූ මුල්ම ගීත නිර්මාණ වෙද්දී  අනතුරුව විපුල් අතින් ලියවුණ දූ පුතුනේ රට අපේය (ශාලිත අබේවික්‍රම) අහස් ගැබේ තරු කැට ගානේ ( චරිතා ප්‍රියදර්ශනී) දෙගුරුන් සතුටට ( චන්දන ලියනආරච්චි) කඳුළැල්කින් (චන්ද්‍රෙස්න හෙටිටආරච්චි) සිහිනෙන් පවා (ෂර්ලි වෛජයන්ත) අසරණ සිතකට (සෝමසිරි මැදගෙදර)සේම සනත් නන්දසිරි, එඩ්වඩ් ජයකොඩි, රෝහන් ශාන්ත බුලේගොඩ ආදී ශිල්පින්  දී ගීත එක පෙළට අතිශය ජනප්‍රිය වූ ගීතයන් ය. ඔහුගේ ගීතයට වස්තු විෂය වූයේ ප්‍රේමය ආදරය වැනි සුන්දරම මාතෘකාවන් ය. ඒ නිසා ම ඒ හැම ගීයක ම ආදරය ප්‍රේමය නො අඩුව ම පිරී තිබුණි. ඉඳහිට ලියන එවන් එකක් දෙකක් වූ ගී පද රචනා විපුල් මහා මිනිසකු බවට පත්කර තිබුණි. සියයකට ආසන්න ගීත ප්‍රමාණයක් ලියා තිබූ  විපුල් ටෙලි නාට්‍ය කීපයකම ගීත රචනා කර තිබූ අතර “රළ බිඳුම” ටෙලි නාට්‍යයට තරුපති මුණසිංහගේ සංගීතයට  දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගැයූ “සඳ කුමක් කරන්නදෝ සඳ කඩා වැටී සිටියා‍” විපුල්ගේ  තේමා ගී රචනයේ සුවිශේෂ අවස්ථාවකි. ඒ ගීතය 2008 හෝ 2009 වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොදම තේමා ගී රචනයට නිර්දේශව තිබිය දී අවසන් මොහොතේ තමන්ට හිමි සම්මානය ගිලිහී යාම එක මොහොතක විපුල්ගේ හිත රිදවූ අවස්ථාවකි.

අනෙක් අතට විපුල් පිළිබද මතකය අවදි කරන විට මතුව පෙනෙන එහෙත් බොහෝ දෙනෙකුට නොපෙනන ඔහුගේ තවත් හැකියාවක් වූයේ ඔහු ලේඛණ කලාවේ පෑ දස්කම් ය.  80 දශකයේ මැද භාගයේ බන්ධුල පද්මකුමාර, ප්‍රදීප් කුමාර බාලසූරිය වැනි ලේඛකයන් සමග එක්ව කුමරි පුවත්පතේ විශේෂාංග ලේඛකයෙකු වශයෙන් ඇරඹි පුවත් පත් ලේඛණ කලාව පසු කාලයේ වාර ප්‍රකාශන සහ සඟරා  දක්වා විහිදුනි.

තාරකා කැළුම් පරදන නීල ඔබෙ නුවන් යුග මත
පා වෙලා ගියාට ආදරේ
පීදිලා හැඟුම් පුබුදන කුසුම හා සුවඳ විලසට
යා වෙලා රැඳේද ආදරේ

ජීවිතේ පුරා දිවුරන සාගරේ තරම් සෙනෙහස
සුන්වෙලාම තැවෙන ලෝකයේ
කාසි බොල් සිනා විසිරෙන ප්‍රේම විජිතයේ සිතු ලෙස
රාම කුමරු වෙමිද මම කෙසේ

හමුවෙලා ඇදී දුර ගිය ස්නේහයේ මහා දිය කඳ
වියලිලාම යාවිදෝ සිතේ
තෑගි විලස කඳුළු ගෙනෙන නේක විසැති මිනිසුන් මැද
මන්ද්‍රි දේවි වනුද ඔබ කෙසේ

ගී පද මාලාව: විපුල් ධර්මප්‍රිය ජයසේකර
සංගීතය සහ ගැයුම විශාරද ගුණදාස කපුගේ



විපුල් එකිනෙකට වෙනස් ක්ෂේත්‍රවල කලා කටයුතු වල නිරත වෙද්දී නිහාල් සිල්වාගේ “සාජන්ට් නල්ල තම්බි” වේදිකා නාට්‍යයේ වේශ නිරූපණ ශිල්පියා වශයෛන් කටයුතු කළ සමය  විපුල්ගේ ජීවිතයේ සුන්දරම අවදිය වන්නට ඇත. නිහාල් සිල්වා සමග “සාජන්ට් නල්ලතම්බි” රැගෙන රටවටා යන ගමනේ ඇතැම් දිනවල මාසයකට වරක් ගෙදර එන්නට සිදූවූ වේශ නිරූපණ ශිල්පියෙක් වූ හැටි විපුල් බොහෝ අවස්ථාවල මා සමග කීවේඑහි රැඳුණ රසමුසු සිද්ධීන්ද සමග ය. අනතුරුව ඊට පසු කාලයේ චිත්‍රපට ක්ෂේත්‍රටයටද  වේශ නිරූපණ ශිල්පියකු ලෙස සම්බන්ධවී බිනරි සහ සුදු බණ්ඩා චිත්‍රපටයේ වේශ නිරූපණ කටයුතු කළේ ය.

නිවේදක වෘත්තිය හා වේශ නිරූපණ කලාව ද, පුවත් පත් කලාවට ද එක සේ ප්‍රිය කළ විපුල් පිටපත් රචකයෙකු පසුබිම් හඬ කැවීමේ ශිල්යෙකු ලෙසද ස්ථාන ගතවිය.  අතුල මහවලගේ සමග සම්බන්ධවී දිගුකාලයක් ප්‍රචාරණ කටයුතුවලටද දායකත්වය සපයන විපුල් අතින් ලියැවුණ වෙළඳ දැන්වීම් ගණන අති විශාලය. නෙස්ලේ සමාගමේ විශාල දැන්වීම් ප්‍රමාණයක පිටපත් ලියැවෙන්නේ විපුල් අතිනි. වචන සිය ගනනක් යොදා ප්‍රකාශ කළ හැකි අදහසක් වචන දෙක තුනකට හසුකරගන්නට විපුල්ට කදිම හැකියාවක් තිබුණි. “බලය -ශක්තිය- ජවය- නෙස්ටමෝල්ට්” මේ මෑත කාලයේ ඔහු‍ නිර්මාණය කළ දැන්වීම් ය.

ඒ ආකාරයෙන් විවිධ කටයතුවලදී මාධ්‍ය ක්ෂේත්‍රයට සිය දක්ෂතා පෙන්වන ඔහු  පසු කාලයේ ජනමාධ්‍ය පාඨමාලාවලදී බාහිර දේශකයකු ලෙස කටයුතු කරමින් වැඩමුලුවලට සහභාගී වෙමින් ලෝබ නැතුව තවත් නව පරපුරකට අත්වැල සැපයී ය. කලා ක්ෂේත්‍රයේ හිත මිතුරන්ගේ නිර්මාණ එළි දැක්වීම් කටයුතු වල මෙහෙයුම් කටයුතු තිරය පිටුපස සිට කරමින් නිහඬව යුතුකම් ඉටු කළේය.


ඒ නිසාම විපුල්ට ක්ෂේත්‍රයේ හිතමිතුරු පිරිවරක් සිටියේය. මීට වසර කීපයකට කලින් විපුල් සිය ගීත නිර්මාණ එකතුවක් ලෙස “සඟවන්න එපා හසරැල්” ගිත එකතුව එළි දැක්වූ දා කොළඔ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි සුදර්ශියේ නුග ගහ යටට එකතුවූ පිරිවර සේනාව මා දුටු විපුල්ගේ මිත්‍ර සම්බන්ධතාවයේ අග්‍ර ඵලයයි. එය ඔහුගේ ජීවිතයේ ප්‍රීතිමත්ම දිනය වන්නට ඇත්තේ තමා වටා සිටි මිතුරු සමූහයේ සියලු දෙනාම ඔහු දෑස් අබියස එදා හැන්දෑවේ සුදර්ශියේ හමුවීම ය.  එදා මැදියම ඉක්මවා යන තෙක් මිතුරු පිරිවර සමග සතුටු සාදයේ ගිලී සිටියේ ය. ජීවිතයේ එකම එකවතාවක් සිය මිතුරු සේනාව එකවර හමු වූ ඒ මිතුරු සමූහය ඔහු බලන්නට යළිත් කලාභවනටත් බොරැල්ල කනත්තටත් ආවේ ඒ අවසන් සැඳෑවේදී ය. ඒ වන විටත් විපුල් සිටියේ සදාතනික සුව නින්දේ ය. ඒත් ඒ  බව කිසිවකුටත් නොහැඟුනේ අප අතැර ඔහු නික්ම ගොස් ඇති බව අප කිසිවකුත් විශ්වාස නොකළ නිසා ය.

සිය මිතුරන්ගේ නිර්මාණ  වෙනුවෙන් බොහෝ සේ උනන්දු වූ විපුල් තමා තුළ සැඟව ඇති රකුසා  නොදුටුවේ ය. මීට මාස කිපයකට පෙර පසුගිය පබෙරවාරි මාසයේ 23 වෙනිදා 50 වන වියට විපුල් පා තබන විට  පරිසමාප්ත අරුතින්ම නිර්මානකරණයේ නියැලෙන, නිර්මාණ කරණයේ යෙදෙන නිර්මාණ කරුවක් ලෙසත්,  මිතුරන් අතර හිත හොඳ අවංක මිතුරක් ලෙසත්  රැඳී සිටියේ ය.

විපුල්ගේ දියණියද පුතණුවන්ද විපුල්ගේ අඩිපාරේ යමින් බාල වියේ සිට ම කලා කටයුතුවල නිරත වෙයි. දියණිය නිම්නාවි රූපවාහිනී ටෙලිනාට්‍ය වල හඬ කැවීම් ශිල්පිණියක ලෙස කොරියානු ටෙලිනාට්‍ය මාලා ඔස්සේ  අපට හමුවිය. සුපුල් සස්මිත පුතණුවන් ද එලෙසම රූපවාහිනී ටෙලිනාට්‍යවල හඬ කැවීම් ශිල්පියෙකු ලෙස කොරියානු ටෙලිනාට්‍ය මාලාවල අපට හමුවේ. දෙදෙනාම නිවේදක කටයුතුවලද නියැලෙයි. ඒ සිය පියා ඔවුන් දෙදෙනාට කියා දුන් දේය. ඉතිරි කර තබා ගිය වස්තූන් ය. 

මීවිතක් තොළ ගාන මොහොතක අප සමගම එකටම එක මේසයේ හිදිමින්  ජීවිතේ කිසිම දිනෙක් මීවිතක් හෝ සිගරැට්ටුවක් තොළ නොගෑ විපුල් අපට අහිමිවන්නේ ඒ අයුරිනි. මේ දිවිය අතර මගකින් මග නතර නොකොට හිනැහෙන් කියා විපුල් ලීවේ අපට ය. ඒත් ඔහු සොඳුරු දිවි සැරිය   අතර මග නතර කර දැම්මේ ය.

සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැඳුන දිනේ සිට
මගෙම හැඟෙයි ඔබ නම්

සඳ එළිය වගේ ඇවිදින්
හද නොපැතු දිනෙක රහසින්
බැස නොයන් ම සිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්

සිලි සිලිය පවා සුළඟින්
තනි මැකුවෙ ඔබේ සුවඳින්
මේ  දිවිය අතර මගකින්
මග නතර නොකොට හිනැහෙන්

ගී පද මාලාව: විපුල් ධර්මප්‍රිය ජයසේකර
සංගීතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: කරුණාරත්න දිවුල්ගනේ

              

ජීවිතය යනු දැල්වෙන පහන් සිලකි. එයින්  ලෝකයට ආලෝකය විහිදුවයි. එයින් තවත් කෙනෙකුගේ සිත් පහන් දැල්විය හැකි ය. ඕනෑම නිර්මානකරුවකුගේ දුර්ලභ වාසානා ගුණය එයයි. එසේ වූ පහන් සිලක් නිවී යන ක්‍රම හතරක් බුද්ධ දේශනාවේ සඳහන් වේ. පහනේ තෙලුත් තිරයත් අවසන් වී පහන් සිල නිවීයාම, පහනේ තෙල්  සහ තිරය තිබියදීම සිල නිවී යාම, පහනේ තෙල් තිබියදී තිරය අවසන් වී  පහන් සිල නිවී යාම සහ පහනේ තිරය තිබියදී තෙල් අවසන් වීම යන ක්‍රම වලින් පහන නිවෙන්නේ යම් සේද මෙලොව උපන් කෙනෙකුගේ ජීවිතයද කිනම් මොහොතක හෝ ලෝකයට ආලෝකය සපයා නිවී යා හැකි පහන් දැල්ලක් වන්නේ එපරිද්දෙනි.

 සංජය මෙන්ම විපුල්ද ලංකාවේ කලා ලෝකය ඒකාලෝක කරමින් නිවී ගියේ එකී පහනේ තෙල්  සහ තිරය යන දෙකම මනාව තිබියදී පහන්  සිල නිවී ගිය පරිද්දෙනි.
සංජය මෙන්ම විපුල්ද ජීවත්ව සිටි කෙටි කාලය තුළ කිසිවකුගේත් හදවතට ඇටෑක් නොකළ චරිත දෙකකි. සංජයට පිළිකාව සේම විපුල්ගේ සුන්දරම හදවතට ඇටෑක් කළේ මාරයා විසිනි. සංජයගේ හෝ විපුල්ගේ හදවතට නොදැනුන ඒ හාට් ඇටෑක් එක තව දුරටත් අප හදවත රිදවන්නේ  ඒ නිසා ය.ඒ වියෝව අපට අපේ හදවත්වලට  රිදවන්නේ ඒ නිසා ය.  සංජය මෙන්ම විපුල්ද කිසිදාක අප මතකයෙන් බැහැරව නොයන්නේ ද ඒ නිසා ය.෴
Related Posts Plugin for WordPress, Blogger...