එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Thursday 23 May 2013

෴ සිරසා නමාමි මුනි පා පියුම්෴



             
                        තනුවට ලියූ බුදුගුණ ගීය මෙයයි

කලා සොලොසක් සපුරා වෙසක් සඳ නැගෙන්න ඇත්තෙ තවත් හෝරා කීපයක් පමණයි. අසිරිත් වූ සම්බුදු ගුණ මෙනෙහි කරන්නට සියලු සිංහල බොදු බැතිමතුන් සැරසෙන මොහොතක තමයි මේ සටහන ලියන්නෙ. සම්බුදු ගුණ මෙනෙහි කරන මේ වෙසක් සමයේ මගේ අතින් ලියැවුණු සම්බුදු ගුණ ගීයකින් අද අස්වැන්න සරසන්න හිතුනෙත් මේ බුදු ගුණ ගැයෙන, වැයෙන, ඇසෙන කාලයක් නිසා. ඒ නිසා ඇසළ  පුන් පොහොය නිමිති කරගෙන  මගේ අතින් එදා ලියැවුණ ඒ සම්බුදු ගුණ ගීයේ අතීතය යළිත් සිහියට නැගේ.

සමහර වෙලාවට ගීයක් ලියන්න අවස්ථාවක් උදාවෙන්නෙ බලාපොරොත්තු නොවන මොහොතක. බලාපොරොත්තු නොවූ ආකාරයට. ඒ වියට හිතන විට මේ ගීයත් මීට වසර තුනකට විතර කලින් මගේ අතින් ලියැවුනේ හරි අපූරු විදියටයි. එදා ඇසල පුන් පොහොය නිමිත්තෙන් ගුවන් විදුලියේ නිෂ්පාදය වූ “භක්ති පූජා” සංගීතමය වැඩසටහනට එස්.වෛද්‍යතිලකගේ සංගීතයට මා ලියූ මේ ගීය ගායනා කළේ ඩබ්ලිව්.ඩී. ආරියසිංහ.

එදා රාත්‍රියෙත් ඇසළ පුර අටවක පෝය හඳ මැදියමට ආසන්න වෙමින් තිබුණි. රැයේ නින්ද පළවා හරිමින් දුරකථනය නාද දෙන්නට විය. 

“මචං මං ආරි..” 
දුරකථනයේ එහා කෙළවර සිට ඇහුණෙ ආරියසිංහගෙ ගීතවත් ගී හඬ. දෑසට නිදිබර බවක් තිබුණත් මෙවන් රාත්‍රියන්හි ඇති වන ඇතැම් දුරකථන සංලාප සමහර වෙලාවට ගීතවලට වැඩිය රසවත්. ඒ නිසාම ආ ගිය තොරතුරු ඔස්සේ කතාවට මුල පිරුවෙමි.

ඉතින් ආරි අයියා මොකද මේ මහ රෑ..?”

“සිංදුවක් ලියාගන්න.”

“හරි... ලියමු” 

සමහර වෙලාවකට විහිළුවක් සේ දැනෙන විදියට කිව්වත් ගීතයක් ලියන්න තරම් හිතක් නැති එවන් වෙලාවක වුණත් මෙවන් සොදුරු ඉල්ලීම් අහක දාන්න නම් ලැබෙන්නෙ නෑ.

“ලියමු නෙවෙයි. මේක හදිස්සියි.  හෙට උදේට රෙකෝඩිං වලට ඕනෑ” ආරි කීවේය.

“මොකක්..?”

“ඔව් හෙට උදේ නවයට රෙකෝඩිං කරනවා.”

“හරි , මොකක් හරි කරන්නම්”  මම කීවෙමි.

“උඹ එහෙම කිව්වට මේක උඹට ලියන්න වෙන්නෙ ට්‍රැක් එකට” 

ආරි අයියා ‍සිනාසෙමින් කීවේය.  සිංදුවේ ට්‍රැක් එක නැතිව හෙට උදේට සිංදුවක් ලියන්නේ කෙසේ දැයි මම කල්පනා කළෙමි.

“ඉතින් කොහොමද ඔය ට්‍රැක් එක අහන්නේ?” මම ආරිගෙන් ඇසුවෙමි.

“මේ වෙලාවෙ හැටියට ටෙලිෆෝන් එකෙන් තමයි” 

ආරි එසේ කියා ගීතයේ සංගීත  පටය ( මියුසින් ට්‍රැක් එක) වාදනය කිරිමට සලස්වා එය දුරකථනය ඔස්සේ මට ඇසෙන්නට සැලැස්වී ය.

දයා මචං මේක ඇසල පෝය වෙනුවෙන් කරන වැඩසටහනක්. ඒ හින්දා පදමාලාව ශාන්ත රසයෙන් පිරුණු එකක් වෙන්න ඕනෑ” ආරි කීවේ ය.

ගීතයේ ට්‍රැක් එක දුරකථනය ඔස්සේ කීපවිටක් ඇසුවද අවසානයේ  එහි ඡායාව වත් මතකයේ රඳවා ගන්නට අපහසු විය.

“ඔය වැඩේ මේ හදිස්සියට නම් මට කරන්න බැරිවෙයි වගේ” මම කීවෙමි.

“මේ වෙලාවෙ  හදිස්සියට මේක කරන්න කෙනෙක් හොයන්න බෑ. උඹම ලියපං.වචන ලියන්න ඕනෑ විදිය මම කියන්නම්” ආරි නැවත කීවේය.

ආරි දුරකථනය ඔස්සේ කීප විටක් “ලලලා” ආකාරයෙන් ගීතයේ තනුව ගායනා කර පෙන්වීය. ගීතයේ ස්ථායි සහ අන්තරා කොටස් වෙනස් වන හැටි පැහැදිළි කළේය.

“මෙන්න මේ විදියට වචන සෙට් වෙන්න බුදු ගුණ ගීයක් ලියපං”‍‍‍

“ලලලල ලලලා ලා ලල ලලලල
 ලලල ලලල ලල ලලලාලේ “

ඩබ්ලිව්.ඩි.ආරියසිංහ
ආරි මුලු ගීතයම ඒ ආකාරයෙන් ඔහුගේ මධුර හඬින් ගායනා කළේ ය. මම ඒ ආකාරයෙන්ම හිස් කඩදාසියක සටහන් කර ගතිමි. අනතුරුව ගීතයේ තිබිය යුතු අත්‍යවශ්‍යම ගුණාංගය වන බැතිබර බව නැවත පැහැදිලි කොට එලඹෙන දිනයේ ගුවන් විදුලියේ දී හමුවන අදිටනින් රාත්‍රියට ඉඩදී දුරකතන සංලාපයට විරාමය තැබුවෙමි.

ගීතය හෙට උදෑසන වන විට ලිවිය යුතුය. ඇත්තේ හෝරා කීපයක් පමණි. නින්ද ද පළා ගොසිනි. මැදියමේ ගීතය  ලිවිය යුතු මාතෘකාව ඔස්සේ කල්පනා ලෝකයේ සැරිසැරුවෙමි. ආරිගේ ගී හඬ සහ ඔහුගේ ගායනයේ තිබූ ශාන්තිය මනසේ රැව් දෙන්නට විය.

හිමිහිට ජනේලයෙන් මිදුල දෙස බැලීමි. පුර අටවක ඇසල සද එළිය මිදුල පුරා විසිරී ඇත. එවන් සඳ එලියක් ගැලූ රාත්‍රියක සිදුහත් තවුසාණෝ නේරංජා නදිය අසල මහා වන තීරයේ කෙසේ භාවනා යෝගීව රාත්‍රිය ගතකරන්නට ඇති දැයි කල්පනා කරන්නට වීමි. වෙසක් දවසට එළඹෙන රාත්‍රියේ සිදුහත් තවුසාණෝ හුදකලා වූ ඒ වන පියස මැදින්  නිසොල්මනේ ගලා බස්නා නේරංජනා නදියත්, පුරහද එලියත් හාත්පස වන පියස දොවලමින් ගලා හැලෙන අයුරු සිහි විය. එය නම් මහත් අසිරිමත් රාත්‍රියක්ම වන්නට ඇතැයි නොයෙක්වර සිතුණි.

ඒ ඔස්සේ කල්පනා ලෝකයේ සැරිසරමින් දෙ තුන් වතාවක් කුරුටු ගෑ කඩදාසි එකින් එක ඉවතට වීසි විය. ටික වේලාවකින් ගීතය ලියැවුණි. ආරිගේ උපදෙස් සහ මගපෙන්වීම් අනුව වැඩේ හරි ගිය බව දැනුණි.

පසු දින උදේ නවය වන විට ගීතය රැගෙන ගුවන් විදුලියට ගියෙමි. මටත් කලින් ආරි එහි පැමිණ සිටියේය. ගීතය ආරිගේ අත තැබුවෙමි.
මම

සංගිතවේදී එස්. වෛද්‍යතිලක ගීතය පටිගත කරන්නට යුහුසුලුව සූදානම් වෙමින් සිටියේය. මැදිරියේ වූ පියානෝව වෙත ගිය ආරි වෛද්‍යතිලකට පියානෝව වාදනය කරන ලෙස ඉල්ලා සිටියේය. වෛද්‍යතිලක පියානෝව වාදනය කරමින් ආරිට ගීතයේ වචන රිසි සේ හසුරුවා ගැනිමට සහය දුන්නේය.

පළමු පටිගත කිරීමෙන්ම ගීතය පටිගත විය. මා ලියූ ගීයේ එකදු වචනයක් හෝ වෙනස් නොකර  ඒ අයුරින්ම ආරියසිංහ ගීතය ගැයුවේ ය. මා එදා තනුවක් නැතිව ලියූ මේ ගීය ඇසල පුන් පෝය වෙනුවෙන් ගුවන්විදුලි සංස්ථාව නිර්මාණය කළ “භක්ති පූජා” ගුවන් විදුලි සංගීත වැඩසටහන පොහෝ දිනයේ ම ගුවන් විදුලියෙන් ප්‍රචාරය විය.  අනතුරුව පසු ගිය වසරේ ගුවන් විදුලි සංස්ථාව  නිකුත්කළ “භක්ති පූජා” ගීත තැටියට මේ ගීතය ද ඇතුලත් වෙළඳපොලට නිකුත් කර තිබුණි.

50 - 60 – 70 දශකවල ජනප්‍රිය හින්දි ගී තනුවලට ලියූ බුදු ගුණ ගීත අදටත් ජනප්‍රිය ය. ඒත් 70 දශකයෙන් පසුව ගී තනුවකට බුදු ගුණ ගියක් ලියැවුණා නම් ඒ කලාතුරකිනි. ඒ විදියට බලන විට මේ ගීයත් මෑත කාලයේ ගී තනුවකට ලියු බුදුගුණ ගීයක් විදියට නිර්මාණය විම මට අදටත්  සතුටකි. ඒත් මේ ගීය දෙස අපසු හැරී බලද්දී ගීතය ලියන්න තවත් දින දෙක තුනක්වත් තිබුණා නම් මීට වඩා හොඳ බුදුගුණ ගීයක් ලියන්න තිබුණා නොවේදැයි මට සිතේ. මතු දැක්වෙන්නේ පටිගත කිරිමට හෝරා කීපයකට කලින් තනුවක් නැතිව තනුවට ලියූ ඒ සම්බුදු ගුණ ගීතයයි. 

සම්බුදු තෙමගුල සමරන මේ වෙසක් සමයේ සිත්නිවී මෙත් පහන් දැල්වේවා.....!


සමිඳුනි ඔබගේ පා යුග නමදිමි
අමිල නිමල මෙත් ගංගාවේ
සිතුවිලි මාගේ නිකැලැල් වූ සඳ
පහදා තුන් සිත මෙත් ගඟුලේ

ලෝකයෙ අනියත සිතුවිලි පාදා
ලොවුතුරු ඔබගේ හද බැතියෙන්
අඳුර නිමා වුණි නිවන ළඟා වුණි
පහදා තුන් සිත මෙත් ගඟුලේ‍

මේ දුර  සසරට කෙටි මං පාදා
පිවිතුරු ඔබගේ දම් ගඟුලෙන්
සසර නිමා කළ  ඔබය අමා ගඟ
පහදා තුන් සිත දුර සසරේ

ගී පද මාලාව : දයානන්ද රත්නායක
සංගීතය: එස්.වෛද්‍යතිලක
ගැයුම: ඩබ්ලිව්.ඩී. ආරියසිංහ

“ සමිදුනි ඔබගේ” ගීතය මෙතනින් අහන්න.
              

Monday 13 May 2013

෴ සාධු ජන රාව ෴






 "අසූව දශකයේ  ආරම්භයේදීම  නිර්මාණකරුවෝ මනසින් දුටු ඒ සිංහල දෙමළ මිනිස් සබඳතා පුපරා යුද ගිනිදැල් බවට පත් විය. ඒ වන විටත් සුභාවිත ගීයේ හරවත් නිර්මාණාත්මක ප්‍රවේශයකට පැමිණ තිබූ  ගුවන් විදුලියේ රජරට සේවය දෙදරා යන මේ මිනිස් සබඳතා නිර්මාණාත්මක ලෙසින් යළි එක හුයකට අමුණන්න‍ට මහත් වෙහෙසක් දරමින් සිටියේය. ඒ වන විටත් ඉහත කී ගීතවලට අමතරව ඒ යුගයේම බිහිවූ කපුගේගේ "උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ" වැනි  ගීත පළුදු වී යන මිනිස් සබඳතා රැක ගැනිමට මහත් වෙහෙසක් දැරූ ගීත බවට පත්ව තිබුණි. 

රජරටින් එතරම් සුවිසල් ගීත සංඛ්‍යාවක් ප්‍රමාණාත්මකව බිහිවන්නට හේතු වූයේ උතුරත් - නැගෙනහිරත්  රජරටට මායිම්ව පැවතිම නිසා යුද්ධයේ බිහිසුණු බවත් වාර්ගික ගිනිදැල්වල උණුසුම රජරටට වඩාත් සමීපව දැණුනු හෙයිනි.

එදා  ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, ගුණදාස කපුගේ වැනි මානව හිතවාදී කලාකරුවෝ මේ මිනිස් සබඳතා නිර්මාණාත්මක ප්‍රවේශයකින්  ශක්තිමත් කරගැනිමට මහත් වෙහෙසක් දැරූහ.  රජරට සේවය හරහා බිහිවූ රජරට  ගීත සාහිත්‍ය මීට යහපත් ප්‍රවේශයක් ලෙස වාර්ගික ගැටුමට නිර්මාණාත්මක අරුත් සැපයීය. එදා ඒ රජරටින් බිහි වූ  ගීතවලින් වැඩිම ප්‍රමාණයක් ගුණදාස කපුගේ විසින් සංගීතවත් කර තිබූ අතර කරුණාරත්න දිවුල්ගනේ, ජයතිලක බණ්ඩාර ආදී ශිල්පීන් විසින් ඒවා ගීත බවට පත්කර තිබුණි. පසු කාලයේදී ඒ ගීතවලින් වැඩිම  කොටසක් රජරට සේවා තැටිපටි ගබඩාවටම සීමාවු අතර, කරුණාරත්න දිවුල්ගනේ ගැයූ ගීත අතරින් කොටසක් ගී තැටි සහ කැසට් මාධ්‍යයට එකතුවිම නිසා ඒවා ජාතික මට්ටමේ ගීත ලැයිස්තු අතරට එකතු විය.

එහෙත්, ජාතික මට්ටමේ ගීත අතරට නොපැමිණියද එදවස රජරට සේවයෙන් ප්‍රචාරය වූ ගීත අතර මෙවන් ගීයක් ඒ වාර්ගික අර්බුදයේ බිඳුණ කඩතොලු මකා දැමීමට ගත් උත්සාහයන්හි දැවැන්ත ආයෝජනයන් වූ බව ඒ අතීතය විමසන විට දැනේ."

 මේ පෝස්ට් එකත් පෙර සේම බ්ලොග් රෝල්වල අප්ඩේට් වී නැති බවයි සහෘද බොහෝ දෙනෙකුගේ අදහස් වලින් කියවුනේ. 

මෙය පළකර සති දෙකක් පමණ ගත වුණත්මේ දිනවල  කාල කළමනාකරණය  පිළිබඳ තරමක ගැටලුවකට මුහුණ දි සිටින නිසා සාධු ජන රාව ගැන කියවන්න නොහැකි වූයේ නම්  මතු දැක්වෙන ලින්ක් එක මත ක්ලික් කර කියවන්න. කියවිමට නොහැකි වූ සියලුම බ්ලොග් වලට මගේ ප්‍රතිචාර ඉදිරි දින කිපයේදී..........

 




Saturday 4 May 2013

෴ සාධු ජන රාව ෴





ජයතිලක බණ්ඩාර නම් ඔහු....( වන කොටස )

බොහෝ කලාකරුවන් ජනතාවාදී කලාකරුවන් ලෙස ප්‍රතිරූප ගොඩනගා ගනිමින්  ජනතාව වෙනුවෙන් පෙනීසිට  අනතුරුව තනතුරු වරප්‍රසාද අබිමුවෙහි ජනතාවගෙන් ඈත්වන මෙවන් යුගයක ජයතිලක බණ්ඩාරයන් මානව හිතවාදී කලාකරුවකු ලෙසින් තවදුරටත්  මෙරට පොදු ජනතාව වෙනුවෙන්  පෙනී සිටී. ඒ මානව වාදී කලාකරුවාගේ ගමන් මගෙහි තවත් එක් පියවරක් ලෙස  ඔහු  ඉදිරිපත් කළ සාධු ජන රාව ප්‍රසංගයේ වැදගත්කම පිලිබඳව විමසා බලමු.

ලංකාවේ  වාර්ගික අර්බුදයක්  ඇති වන්නට පෙර  එවැනි වටපිටාවක් ගොඩ නැගෙමින් පවතින බවට මනසින් දුටු නිර්මාණකරුවෝ වූහ. ඔව්හු මෙරට සිංහල දෙමල ගැටුමක් ඇතිවන්නට පෙර සිටම එවැනි ගැටුමක් නිර්මාණය වෙමින් පවතින බව සිය නිර්මාණවලින් පෙන්වා දුන්හ. ජයතිලක බණ්ඩාරයන් ඉදිරිපත් කළ "සාධු ජන රාව" ප්‍රසංගයට පූර්විකාවක් ලෙස අතීත නිර්මාණකරුවන්ගේ ඒ ක්‍රියාදාමය කෙටියෙන් විමසා බැලිම සාධු ජන රාව සාමූහික ප්‍රයත්නයේ  නිර්මාණාතමක වෑයම වටහා ගැනිමට ඉවහල් වනු ඇත.

මගේ මතකයේ හැටියට සිංහල දෙමල වාර්ගික ගැටුම ඇතිවිමට පෙර ඒ පිළිබඳව අරුත්බර ඉඟියක් සපයන්නේ  1970 දශකය ආරම්භයේ දීමය. එදා ප්‍රේමකීර්ති ද අල්විස්  ලියා වික්ටර් රත්නායකයන් සංගීතය නිර්මාණය කරමින් ඔහු සමග  සහ සුජාතා අත්තනායක ගායන ශිල්පිණිය ගුවන් විදුලි සරල ගී වැඩසටහනකට ගැයූ මතු දැක්වෙන ගීය ඊට නිදසුනකි.

                කොට්ට කෙළෙංගා තම්බා කන්නට දුන්නා
                තිරුක්කුරල් කවි කටපාඩම් කරලා දුන්නා
                භූමිතෙල් කරත්තෙක නැගලා
                මං හැරදා ගම රට යනවා
                කුදිරකාර මාමා - කුදිරකාර මාමා

එදා මේ ඉඟි සැපයිම සිදුවූයේ යුද ගිනිදැල් නැති සමයක වුවත්, ඒ ගීත සාහිත්‍ය තුළ ගැබ් වූ බොහෝ අරුත් සත්‍ය ඒවා බවට පසක් වූයේ ඊට වසර දහයකට දොළහකට පමණ පසුවය. හැත්තෑව දශකයේ අග භාගයේදිම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, ලියා වික්ටර් රත්නායක සහ නිරංජලා සරෝජිනී  ගැයූ මීන නුවන් යුගින් බලන් මීනා, ගීතයත් ඇය විසින්ම  ගැයූ ඉසුරු දෙවිඳු උමයංගන ගීතයත් සිංහල දෙමල මිනිස් සබඳතා බිඳ වැටෙන්නට පෙර ඒ සබඳතා බිඳ වැටීමේ  ඉඟි සැපයූ ගීතයන්ය.

ඒත් අසූව දශකයේ  ආරම්භයේදීම  නිර්මාණකරුවෝ මනසින් දුටු ඒ සිංහල දෙමළ මිනිස් සබඳතා පුපරා යුද ගිනිදැල් බවට පත් විය. ඒ වන විටත් සුභාවිත ගීයේ හරවත් නිර්මාණාත්මක ප්‍රවේශයකට පැමිණ තිබූ  ගුවන් විදුලියේ රජරට සේවය දෙදරා යන මේ මිනිස් සබඳතා නිර්මාණාත්මක ලෙසින් යළි එක හුයකට අමුණන්න‍ට මහත් වෙහෙසක් දරමින් සිටියේය. ඒ වන විටත් ඉහත කී ගීතවලට අමතරව ඒ යුගයේම බිහිවූ කපුගේගේ "උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ" වැනි  ගීත පළුදු වී යන මිනිස් සබඳතා රැක ගැනිමට මහත් වෙහෙසක් දැරූ ගීත බවට පත්ව තිබුණි. 

රජරටින් එතරම් සුවිසල් ගීත සංඛ්‍යාවක් ප්‍රමාණාත්මකව බිහිවන්නට හේතු වූයේ උතුරත් - නැගෙනහිරත්  රජරටට මායිම්ව පැවතිම නිසා යුද්ධයේ බිහිසුණු බවත් වාර්ගික ගිනිදැල්වල උණුසුම රජරටට වඩාත් සමීපව දැණුනු හෙයිනි.

එදා  ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, ගුණදාස කපුගේ වැනි මානව හිතවාදී කලාකරුවෝ මේ මිනිස් සබඳතා නිර්මාණාත්මක ප්‍රවේශයකින්  ශක්තිමත් කරගැනිමට මහත් වෙහෙසක් දැරූහ.  රජරට සේවය හරහා බිහිවූ රජරට  ගීත සාහිත්‍ය මීට යහපත් ප්‍රවේශයක් ලෙස වාර්ගික ගැටුමට නිර්මාණාත්මක අරුත් සැපයීය. එදා ඒ රජරටින් බිහි වූ  ගීතවලින් වැඩිම ප්‍රමාණයක් ගුණදාස කපුගේ විසින් සංගීතවත් කර තිබූ අතර කරුණාරත්න දිවුල්ගනේ, ජයතිලක බණ්ඩාර ආදී ශිල්පීන් විසින් ඒවා ගීත බවට පත්කර තිබුණි. පසු කාලයේදී ඒ ගීතවලින් වැඩිම  කොටසක් රජරට සේවා තැටිපටි ගබඩාවටම සීමාවු අතර, කරුණාරත්න දිවුල්ගනේ ගැයූ ගීත අතරින් කොටසක් ගී තැටි සහ කැසට් මාධ්‍යයට එකතුවිම නිසා ඒවා ජාතික මට්ටමේ ගීත ලැයිස්තු අතරට එකතු විය.

එහෙත්, ජාතික මට්ටමේ ගීත අතරට නොපැමිණියද එදවස රජරට සේවයෙන් ප්‍රචාරය වූ ගීත අතර මෙවන් ගීයක් ඒ වාර්ගික අර්බුදයේ බිඳුණ කඩතොලු මකා දැමීමට ගත් උත්සාහයන්හි දැවැන්ත ආයෝජනයන් වූ බව ඒ අතීතය විමසන විට දැනේ.

                යාපා පටුනට එහා ඉමේ සිට
                කඳුළක් හෙළුවා ඔබ වෙනුවෙන්
                යාපා පටුනට මෙහා ඉමේ සිට
                සුසුමක් හෙළුවා ඔබ වෙනුවෙන්

ගී පද රචනය: රෝහණ දන්දෙණිය, සංගිතය: උපාලි ජයලත්, 
ගැයුම: ඩී.එම්. රාජරත්න සහ ප්‍රියන්ති නිර්මලා.

ජයතිලක බණ්ඩාරයන් "රස වින්දන" වැඩසටහන අරඹන්නේ මේ පසුබිමෙහි සිටය. කාලයේ රාවය සහ කම්පන  ඔස්සේ ප්‍රසංග කලාව පිලිබඳව ලද අත්දැකීම් වලින්  උසස් ගීතයක් නිවැරදිව හඳුනා දෙමින් ගීතයේ සාහිත්‍යමය ගුණයත්, සංගීතමය බසත් නිවැරදිව වටහාගෙන සුභාවිත ගීතය ජනතාව වෙත ගෙන යන වැඩසටහනකට යොමුව සිටියේය. එය සාමූහික වෑයමක ප්‍රතිඵලයක් ලෙස ඉදිරියට ගෙන යාමට එදා ආරිසේන රත්නායක සහ කුමාර එප්පාවල යන සංගිතවේදීන් දෙදෙනාද ජයතිලක බණ්ඩාරයන් සමග  වූ සෙසු නිර්මාණකරුවෝය. ඒ වන විටත් ඉතාමත් කාර්ය බහුල ශිල්පීන්  ලෙස සිට ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනනේ ද ඉඩක් ලද සෑම අවස්ථාවකදිම රසවින්දන වැඩසටහන අරුත්ගැන්විමට සිය ළබැඳි දායකත්වය ජයතිලක බණ්ඩාරයන්ට ලබා දුන්හ.

ඒ අනුව ජයතිලක බණ්ඩාරයන් "සාධු ජන රාව" ප්‍රසංගය සඳහා ප්‍රවේශිකාවක් සපයාගන්නේ මේ සන්දර්භය තුළ දීය. මතු දැක්වෙන්නේ එදා මේ  සාධුජන රාව ප්‍රසංගයට ගැයුණු එහි තේමා ගීයයි.

                සාර ඵලයෙන් පිරුණ ජීවිතේ ගිරි මුදුන
                දෙ‍දරමින් ඇද හැලෙන කාලයයි
                ධූලි අලු පරමාණු
                මුරුගසන් වැසි වසින මේඝයයි

                මං හසර වෙද කොතැන අන්ධකාරය පැමිණ
                අන්ධකාරෙන් අසන කාලයයි
                පින් බිමක අරුණළුව නිවුණු තැන පුළිගු ගෙන
                නැණ එලිය අවුලන්න කාලයයි

                දෑත දම්වැල් සැලෙන පා විලංගුව හඬන
                සා පිපාසා තියුණු කාලයයි
                ප්‍රේමයේ උල්පතින සාධු ජන ගඟ ගලන
                සාධු මංගල්‍යයට කාලයයි

                ගීපද මාලාව : රත්න ශ්‍රී විජේසිංහ
                සංගීතය : ප්‍රේම් රජිත් විජේවික්‍රම
                ගැයුම: ජයතිලක බණ්ඩාර

                " සාර ඵලයෙන්" ගීතය මෙතනින් අහන්න
                

සාධු ජන රාව ප්‍රසංගය බිහිවන්නේ "රස වින්දන" වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙසිනි. ජයතිලක බණ්ඩාරයන් ජාතික ඉඩම් කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සංස්කෘකිත අංශයේ සහාය ඇතිව ඉදිරිපත් කළ මෙම රසවින්දන වැඩසටහන  සිංහල බසින් පමණක් ඉදිරිපත් කළ වැඩසටහනක් වූ නිසාම එය ඉදිරිපත් කරන විට සිංහල බස නොදන්නා මිනිසුන්ද  ඒ රස වින්දන වැඩසහටන වටා එකතුවී සිටි බැවින්  සිංහල බස කතා නොකරන මිනිසුන්  වෙනුවෙන් ඊට වඩා යමක් කළ යුතු බව ඔහුට හැඟුණි. එහි ප්‍රතිඵලයක් ලෙසට යුද්ධයෙන් පිඩාවට පත් මිනිසුන්ගේ බිඳුනු සිත් සුවපත් කරනු පිණිස  සාධු ජනරාව ප්‍රංගය 1995 වර්ෂයේදී ඇරඹුවේ ය. එයද සාමූහික ප්‍රයත්නයක් විය. එදා ඒ සදහා ජයතිලක බණ්ඩාරයන් සමග  ප්‍රවීන ගීත රචක මහින්ද චන්ද්‍රසේකරත්, ආරියසේන රත්නායක, සහ කුමාර එප්පාවල යන සංගීත වේදීන් දෙදෙනාද ඔහු සමග ඒ මගට පිවිස සිටියේය. 

හිසට මුතුකුඩ නාල්ලා
හිස දිය නාන්නට පේ වූ පැයේ
මුතුකුමාරී පදවිය වැවේ
උඹ අඬනකල් මුතු විකුණ ගන්නට
මං බලා හිටිය ද දුවේ
නොඑන්නම යන්නට ගියේ

අපට මායිම් තිබුණෙ නෑ
අපි හිටියාට මායිම් ගමේ
ඉරට හඳ තරුවලට නෑකම්
සමානයි හැමටම අපේ
ඒ නුඹට අවි එසවූ අතත්
නෑ කෙනෙකුගේමයි මගෙ දුවේ

වතුර කල හත වැවෙන් අරගෙන
නාන්නට පේ වූ පැයේ
ලෙයට හැරුණේ මල්වියම නුඹෙ
නැකැත්වල අපලෙට නොවේ
සිංහල දෙමල නම් ගම් මොටද
ලෙව් පපුකමක් නැති තැන දුවේ


ගීපද මාලාව : රත්න ශ්‍රී විජේසිංහ
                        සංගීතය : ස්ටැන්ලි පීරිස්
                        ගැයුම: ජයතිලක බණ්ඩාර

" පදවියේ දියණිය" ගීතය මෙතනින් අහන්න
                    

සාධු ජන රාව ප්‍රසංගය යුද්ධයෙන් අසරණ වූ මිනිසුන්ට මිනිස්කමෙහි අරුත කියා දෙමින් දකුණේ සිට උතුරටත්, නැගෙනහිරටත් ගියේය. පාසල්, පන්සල්, පිරිවෙන් , දේවස්ථානවල පමණක් නොව බන්ධනාගාර තුළත්  ප්‍රසංගය පවත්වනු ලැබිය. යුද ගීත සාහිත්‍යයක් මෙන්ම යුද මානසිකත්වයක් රට පුරා ගොඩනැගෙද්දී බිහිසුණු කුණාටුක් සේ හඹා එන යුද්ධයට එරෙහිව  මිනිස්කම ඉල්ලා සාධු ජනරාව ඔස්සේ  ඔවුහු හඬ නැගූහ. එදා මානවවාදී කලාකරුවෝ යුද ගීත සාහිත්‍ය විනිවදව ගොස් එහි සැබෑ යථාර්ථය ගීතයෙන් දුටුහ.

තල්වැට අයිනේ කඳවුරු දොරටුව
ගිනියම් අව්වේ බියකරු නිහඬ රැයේ
දෑස් අයාගෙන නොසැලී ඉන්නෙමි
වැලිමළු විනිවිද එන මරණය හමුවේ

ගී පද රචනය : රෝහණ දන්දෙණිය  සංගීතය: සේන වීරසේකර 
ගැයුම: ගුණදාස කපුගේ

යුද බිම මියෙන්නේ කවුරුන්ද කුමන පාර්ශවයද  යන්න මානවවාදී කලාකරුවන්ට අවශ්‍ය වූයේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ එයින් බිඳ වැටෙන  මිනිස්කම ගැන කියාදීම පමණි. එසේ වුවත් සාධු ජන රාව ප්‍රසංගය දෙස මෙරට එක් එක් දේශපාලන පක්ෂ බැලුවේ එය තමන්ගේ දේශපාලන දර්ශනයට එරෙහි වූවක් ලෙසය. ඒ නිසා දකුණේ දේශපාලනය තුළින් සාධු ජන රාව ප්‍රසංගය ප්‍රතික්ෂේප වූ අතරම උතුරේ සහ නැගෙනහිර ක්‍රියාත්මක වූ  එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදීන් විසින්ද  ප්‍රසංගය ප්‍රතික්ෂේප කරමින් දෙමල ජනතාව වෙසෙන ගම් ප්‍රදේශවල සාධු ජන රාව ප්‍රසංගය පැවැත්විම තහනම් කළහ.
 
එසේ වුවත්, ලංකාවෙ ගීත ප්‍රසංග කලාව සංගීත රසිකයන්ට අමුතු දෙයක් නොවේ. 70 දශකයේ බිහිවූ ප්‍රසංග කලාවේ හැඩ රුව සංගීත රසිකයෝ මනා සේ දැන සිටියහ.  ඒ අතින් ලංකාවේ ගීත ප්‍රසංගයක් දර්ශන වාර 50, හෝ 100 ක් පැවැත්වීම සංගිත රසිකයන්ට අමුතු දෙයක් නොවුණත් සාධු ජන රාව  ප්‍රසංගය 50, 100 ආදී වශයෙන් දර්ශන වාර 1200  වැඩි ගණනක් පැවත්විම ඒ සංගීත රසිකයන්ට අපුර්ව අත්දැකීමක් විය.

උසස් බුද්ධිමත් සංගීත රසිකයාත්, සංගීතය ගැන හසරක් නොදන්නා ගී රසිකයාත් එකම ඉසව්වකට කැඳවීම  ජයතිලක බණ්ඩාරයන් ඇතුළු පිරිස එදා ඒ උත්සාහයෙන් ලද නිර්ව්‍යාජ ප්‍රතිඵලයයි. ඇතැම් විට ඔවුන්ගේ ඒ හමුවිම සිදුවූයේ බස් නැවතුම්පොලකය. නැතිනම් දුම්රිය පොලකය. එසේත් නැත්නම් කඩ විදියකය. ඒ කොතැන වුවත්  ඒ සියළුම සංගීත රසිකයෝ එකම ඉසව්වකට පැමිණ මිනිස්කමේ අරුත වටහා ගත්හ. ඒ වෙනුවෙන් ජයතිලක බණ්ඩාර ගී ගැයීය. මහින්ද චන්ද්‍රසේකර ඒ රසිකයන්ට ඇමතීය. වාද්‍ය ශිල්පීහු වැයූහ. මිනිසත් බව දුටු මිනිසුන් ඒ ගී ඇසූහ.

ශිවරමණී හඬන්පො
එකවරක් හිනාවෙලා යන්න
ඇහේ කඳුළු පිසදා
ඔය කඳුළු සිංහලට නගන්න
බැරිවෙයි මට කිසිදා

කළු ජුලි මාසය තවම දැවෙයි ගින්දර නෑ නිවිලා
නුඹ කඩා දැමූ මලක් වෙලා හිටියා
බෝඩිමට ඇවිත් අප්පච්චී එක්ක යන්න  කියලා
මට කිසි දවසක මල් නොපිපෙන රටක් ඉතිරි කරලා

මේ නුවර දමා  ඈත ගමට යන්නට බෑ කියලා
අතපුරා වළලු එල්ලීගෙන මග දිගටම හැඬුවා
නුඹ හිසේ බරත් පොදි බැඳගෙන ඉන්න එපා නොනිඳා
ඒ හැම දුකක්ම තියා යන්න මගේ නමට පවරා

ගීපද මාලාව : රත්න ශ්‍රී විජේසිංහ
                සංගීතය : අජිත් ජයවීර
                ගැයුම: ජයතිලක බණ්ඩාර

                " ශිව රමණී" ගීතය මෙතනින් අහන්න
               

ඒ අයුරින් සාධු ජන රාව ප්‍රසංගයේ 350 වන දර්ශනය  සුවහසක් රසික සමූහයාගේ සහභාගීත්වයෙන් පැවතියේ ජයතිලක බණ්ඩාරයන්ට සිය සංගීත ගමන් මගෙහි අත්වැල සැපයූ  අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේදී ය. ඒ 1998 වර්ෂයේ පෙබරවාරි මාසයේදීය. එදා එහි මුලසුන හෙබවූයේ මහාචාර්ය සුනිල් ආරියරත්න, විශාරද නන්දා මාලනී සහ ධර්මසිරි බණ්ඩාරනායක වැනි මානවහිතවාදී කලාකරුවන්ය. ආරම්භයේ සිටම සිය ගමන් මගෙහි ළඟින්ම සිටි ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ යන කලාකරුවන් දෙදෙනා පමණක් නොව දිවයිනේ නන් දෙසින්  සියළු කලාකරුවෝ එදා අනුරාධපුරයට පැමිණ ඔහු සමග අත්වැල් බැඳගත්හ. එදා ඒ කලාකරුවන්ට ජනතාව වෙනුවෙන් කළහැකි මෙහෙවරෙහි තරම  වටහා දීමට ඔවුන්ට සාධු ජන රාව ප්‍රසංගය සමත් විය. ඒ ජනතාවාදී කලාකරුවන් ජනතාවට සෘජුව ඇමතිමට තරම් ශක්තියක් සහ ජවයක් ලබාගෙන පසුකාලීනව තම සුඛ විහරණය උදෙසා දේශපාලන වේදිකාවේ එක් එක් පක්ෂ වෙනුවෙන් හඬක් නගන්නට තරම් ශක්තියක් සහ ජවයක් සාධු ජන රාව ප්‍රසංගය මගින් ලබාගෙන තිබුණි.

ඒ අනුව  ජනවාර්ගික අර්බුදයේදී ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ යන ශිල්පීන් දෙදෙනා හැරුණු විට  සාධු ජන රාව ප්‍රසංගය ඔස්සේ දෙමල ජනතාවගේ සිත්වලට එබී බලන්නට හැකි වූ එකම කලාකරුවා වූයේ ද ඔහු ය. යුද්ධයේදී පීඩාවට පත් සියළුම මිනිසුන් වෙනුවෙන් "සාධුජන රාව" සංගීතමය වැඩසටහන ඇරඹුණේ ඒ නිසාය.  ලංකාවේ ගී රසිකයන්ට ප්‍රවේශපත්‍රයක් ලබා නොගෙන නැරඹිමට හැකිවූ එකම ප්‍රසංගය වූයේද "සාධු ජන රාව" ප්‍රසංගයයි. 

රජය හෝ රජයට අනුබද්ධ කිසිම ආයතනයක මුල්‍ය අනුග්‍රහයක් නොලද තැනක සිට තමන් දකින සහ අනුගමනය කරන ප්‍රතිපත්ති සමග එකඟ වන්නාවූ ඒ මග තමන් සමග යා හැකි රාජ්‍ය නොව සංවිධානයක් ලෙස  ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සාධු ජන රාව ප්‍රසංගය වෙනුවෙන් අනුග්‍රහය දැක්වීය. 

පසුකාලයේදී ජනතාවාදී කලාකරුවෝ යනුවෙන් කොටසක් බිහිවන්නට සෘජු හේතුවක් වන්නේ ද මේ සාධු ජන රාව ප්‍රසංගය හරහා මිනිසුන් වෙනුවෙන් පෙනිසිටිය යුතු බවට ගොඩනැගුණ අදහස ය.  ජයතිලක බණ්ඩාර සාධු ජන රාව ප්‍රසංගය ඔස්සේ යුද්ධයත් මරණයත් අතරට ජීවිතය කැඳවී ය. යුද්ධය පෙනි සිටින්නේ මරණය වෙනුවෙන් බවත් ජීවිතය වෙනුවෙන් මිනිසුන් පෙනී සිටිය යුතු බවත් කියා දෙමින් ගම් නියම් ගම්වල ඇවිදිමින් එදා ඔහු ගීතයෙන් කියා දුන්නේය.

දවා පිච්ච මල් අසුපුව
පෙනේ කළ කුරිරු ගින්දර
වෙළාගත් නයින් පොළඟුන්
දිව අදිනු පෙනේ
සීතලද බලන් මේ උනු කඳුළු යාපනේ

ගිනි වැදී කැදලි ගහ යට හඬන බිලින්දෝ
පොත් ගුලේ නිදිද අළුවී ගියෙද දෙවින්දෝ
ආඬි ළිං වලින් උණනා
ලේ වලින් තිලක තියලා
නපුරුවී පුපුරු ගසනා හද වාවම්දෝ
සීතලද බලන් මේ උණු කඳුලු යාපනේ

පණ බයේ ගැහෙන අතපය අහිමි කිවින්දෝ
වෙඩි වැදී වැටෙන හඳ තරු කැබලි ඇහින්දෝ
කොට්ට කෙළෙංගා වෙනුවට
හාමතයි දුකයි පොදි බැඳ
තිරුක්කුරල් අළු දකුණට අරගෙන එම් දෝ
සීතලද බලන් මේ උණු කඳුලු යාපනේ

ගීපද මාලාව : රත්න ශ්‍රී විජේසිංහ
                සංගීතය : ඔස්ටින් මුණසිංහ
                ගැයුම: ජයතිලක බණ්ඩාර

" දවා පිච්ච මල් අසපුව" ගීතය මෙතනින් අහන්න
          

සාධු ජනරාව ප්‍රසංගය පැවැත්වූයේ ගම් මට්ටමිනි. අවම සංගීත භාණ්ඩ කිපයක් උපයෝගී කර ගනිමින් දිලිසෙන ඇඳුම් ආයිත්තම්, සැරසිලි,  විදුලි අලංකරණ ආලෝක, කිසිවක් නොමැති ව,  පොදු ජනතාව අතරට යාමට "මුදල" අත්‍යවශ්‍ය සාධකයක් නොවේය යන මතය තහවුරු කරමින් එදා ඔහු ජනතාව වෙනුවෙන් ගී ගැයුවේ ය.

ඔහුට අවශ්‍ය වූයේ ජනතාව අතර සිට ජනතාවගේ හඬ නගන නියෝජිතයෙක් වීම විනා සුපිරි ගී තරුවක් විම නොවේ.  තමන් තෝරාගත් ගමන් මග වටා එකතුවූ රසිකයන් බහුතරය ඔහුගේ අදහස  පිළිගත්තේ ය. සාධු ජන රාව ප්‍රසංගය වැඩි වශයෙන් වැළඳගත්තේ මායිම් ගම්වල ජිවත් වූ මිනිසුන් ය. ඒ නිසාම සාධු ජන රාව ප්‍රසංගය ‍සිංහල බසින් පමණක් නොව දෙමල බසින්ද  ඉදිරිපත් කරමින් සියලුම මිනිසුන් වෙනුවෙන් ඔහු හඬක් නැගුවේ ය.෴ 

මෙම ලිපි මාලවේ අවසන් කොටස "රසවින්දන" ඊළඟ ලිපියෙන්......

විශේෂ ස්තූතිය:
ජයතිලක බණ්ඩාරයන්ට,
තුසිත කුමාර සහෘදයාණන්ට
වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර සහෘදයාණන්ට  (යසනාත් සිතුවිලි )
තරුරසී බ්ලොග් අඩවියේ තරුරසීට
සහ දිරි දුන් සැමට


Related Posts Plugin for WordPress, Blogger...