එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Thursday 18 April 2013

෴ ජීවිතයට අරුතක් ෴



                          

                            මගේ ගම රෝගීව 

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කය අතීතයේ පටන්ම වැව කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැගෙන  කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත්  ප්‍රදේශයක්. නුවර වැව, කලාවැව සහ පදවිය වැව වටා ගොඩනැගෙන ‍ඓතිහාසික නුවරකලාවිය වී ගොවිතැන ප්‍රධානම ආදායම් මාර්ගය කරගත්  බිම් ප්‍රදේශයක්.

ඒත් 1958 න් පසු ව ඇති වු  නව සමාජ දේශපාලනික විපර්යාසයන් හේතුවෙන් රජරට වැව කේන්ද්‍ර කරගනිමින් බිහි වූ ගොවි ජනපද ක්‍රමය නිසා කෘෂිකර්මාන්තය සිඝ්‍ර දියුණුවක් ලබන්න හේතුවක් වූවා සේ ම  අනෙක් අතට කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ගැමි ජනතාවගේ  නොදැනුවත් කම නිසා ම වර්තමානයේ දීර්ඝ කාලින රෝගීන් බවට පත්වන්නේ  පසුගිය දශක හය හමාරකට ආසන්න කාලයක් පුරා සිය ගොවිතැන් කටයුතු සඳහා ඉවක් බවක් නොමැතිව දිගු කාලිනව පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය  භාවිතා කිරිම හේතුවෙන්. 

එසේ ප්‍රමිතියකින් තොරව මෙරටට ආනයනයනය කරන කෘෂි රසායන ද්‍රව්‍යවල අඩංගු ආසනික්, රසදිය, කැඩ්මියම්, (බැර ලෝහ ) සහ යුරේනියම් (විකිරණ) වැනි උග්‍ර විෂ සහිත රසායන ද්‍රව්‍ය පොළව  මතුපිට ඇති වැව් , ගංගා, ඇළ දොළ, පොකුණුවලට  සේ ම භූගත ජලයටත් මිශ්‍ර විම ය. මේවා වරක් පරිසරයට ඇතුළු වූ  පසු ඉවත් නොවේ. විශේෂයෙන්ම මේ බැර ලෝහ ස්වභාවික පරිසර චක්‍රයේ ක්‍රියා කාරීත්වයට ඇතුළුවේ. 

මේ රටේත්  ජනතාවගේත්,  පරිසරයේත්  අවාසනාවකට එසේ  පරිසරයට ඇතුළු වන මේ විෂ සහිත බැරලෝහ මෙරටට ගෙන්වන  පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍යවල අඩංගුවේ. 1958 න් පසු බිහි වූ    ගොවි ජනපද  ක්‍රමය නිසා ගොවියෙකුට හිමිවන අක්කර එකක් හෝ දෙකක් වැනි කුඩා බිම් ප්‍රමාණයට එදා සිට මේ දක්වා යොදා ඇති පොහොර සහ කෘමි නාශක / වල් නාශක රසායන භාවිතා කර ඇති අයුරු මෙසේ ය.

යූරියා වර්ගයේ පොහොර  එක් කන්නයක් සඳහා එක ගොවියෙකු විසින් කිලෝ ග්‍රෑම් 150 බැගින් වසරකට කිලෝග්‍රෑම් 300 ගණනේ වසර 60 ක් කාලයකට එක් අක්කරයකට පො‍හොර මෙට්‍රික් ටොන් 18  හෝ ඊට වැඩි ප්‍රමාණයක්ද, එක් කන්නයක් සඳහා කෘමි නාශක මිලි ලිටර් 400 බැගින් වසරකට මි.ලී. 800 ක්ද ගණනේ වසර 60 ක් කාලයකට සදහා එක් අක්කරයකට ලීටර් 54 ක්ද භාවිතා කර ඇත. මේ අයුරින්ම වල් නාශකද යොදා ඇත.

ඒ නිසා සමස්ත රජරටම ගොවි බිමක් වූ විට එහි විනාශකාරී බව කොතරම්ද කියා ඔබටම වටහා ගත හැකිය. මේ හේතුවෙන් රජරට පො‍ළොවෙහි සහ පරිසරයේ විශාල වෙනසක් සිදුවී ඇත.  පානීය ජලය සපයා ගන්නා ළිං  ජලයේ පවා මෙම  රසායනික සංයුතියේ සාන්ද්‍රණය ඉහළ ගොස් තිබේ.

මුළු රජරට ප්‍රදේශයේම පානීය ජලයේ රසායනික සාන්ද්‍රණය ඉහල යාම හේතුවෙන් මේ වන විට විශාල වශයෙන් වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතී.  බොහෝ වකුගඩු රෝගීන් තමන්ට එවැනි රෝගයක් වැළඳී ඇති බව දැනගන්නා විට හෝ රෝහල්වල කෙරෙන පරීක්ෂණ මගින්  එකී රෝගී තත්වය නිශ්චිතවම වැළඳී ඇති බව තහවුරු කර  ගන්නා විට  ඔවුන්ගේ වකුගඩු වලින් 40% - 50% අතර ප්‍රමාණයක් අක්‍රිය වී අවසන්ය. යමෙකුට මේ රෝගය වැළඳුන පසුව නියතයෙන් ම හිමි වන්නේ මරණයයි. ඒ අනුව උතුරු මැද පළාතේ  ග්‍රාමීය ජනතාව උග්‍ර පානීය ජල ගැටලුවකට මෙන්ම දැන්  වකුගඩු අක්‍රිය වීමේ රෝගයට ද මුහුණ දෙමින් සිටී. 

එහෙත් මේ දක්වා රජරට ගැමි ජනතාව තව දුරටත්  සිය ගම්බිම්වල  ඇති ළිංවලින්  මෙන්ම වැව් , ගංගා, ඇළ දොළ, පොකුණුවලින් සිය පානිය ජල අවශ්‍යතා සපුරා ගැනිම හැර  වෙනත් කළ යුතු දෙයක් ඔවුනට නොමැත. එදා යුද්ධයේදී හඬ අවදිකළ රාජ්‍ය නොවන සංවිධාන පවා මේ මොහොතේ නිහඬය.

එදා කාලිංග මාඝ යුද්ධයෙන් පසු සියවස් ගණනාවක් අහිමි ව තිබූ රජරට සශ්‍රීකත්වයේ ශිෂ්ඨාචාරය යළි පණ ලැබූයේ 19 වන සියවසේ  සහ 20 වන සියවසේ දී ය. ඒත් ඒ ‍ඓතිහාසික ශිෂ්ඨාචාරය යළිත් රෝගී වෙමින් පවතී.  

මේ තත්වයෙන් රජරට ගැමි ජනතාව මුදවා ගෙන ඔවුන්ගේ රෝගී තත්වයන් ඔවුන්ගේ ගම්බිම් වලදීම  නිසි ලෙස හඳුනාගෙන නිසි ප්‍රතිකාර සදහා රෝහල්වෙත යොමුකළ යුතු වුවත් ඒ සදහා රාජ්‍ය යාන්ත්‍රණය තුළ නිශ්චිත වැඩ පිළිවෙලක් මෙතෙක් සංවිධානය වී නොමැත. 

 ඒ නිසා අනුරාධපුරයේ සියලුම ආගමික සහ නිකායික හිමිවරුන්ගේ සංවිධානයෙන් අනුරාධපුර මහ රෝහලේ වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ  සහභාගීත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ  ගම්වලටම ගොස් ගම් මට්ටමින් සායන පවත්වා වකුගඩු රෝගීන් හඳුනාගෙන ඔවුන් නිසි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමේ  වැඩ පිළිවෙලක් නිර්මාණය වෙමින් පවතී. 

මේ වැඩ සටහනේදී ගම් මට්ටමෙන් පැවැත්වෙන  සායන වලදී පරීක්ෂණයට භාජනය වන ජනතාවට ඒ පරීක්ෂණ සඳහා අවශ්‍යවන සායන උපකරණ සපයාගැනිමට අරමුදලක් සකසා ගැනිම  පිණිස ජයතිලක බණ්ඩාරයන් ගී ගයන "ජීවිතයට  අරුතක්" සංගීතමය සැඳෑව  2013.04.27 වන සෙනසුරාදා පස්වරු 6.30 අනුරාධපුර ශාන්ත ජෝශප් දෙව් මැදුරු රංග ශාලාවේදී පැවැත්වේ.

ජනතාවාදී කලාකරුවකු , ගායන ශිල්පියෙකු ලෙස ජයතිලක බණ්ඩාරයන් සිය නිර්මාණාත්මක හඬ අවදිකරමින් නැවතත් රෝගී වූ රජරට මිනිසුන් වෙනුවෙන්  සිය දායකත්වය ලබාදිමට සූදානම්.  මීට පෙර ඒ අයුරින්ම එදා යුද්ධයට එරෙහිව යුද්ධයෙන් පීඩාවට පත්වු ජනතාව වෙනුවෙන් පෙනි සිටි ඔහු අද දවසේ වකුගඩු රෝගයෙන් පෙළෙන ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින  රජරට ජනතාව වෙනුවෙන් පෙනි සිටී. 

ඒ නිසා ජයතිලක බණ්ඩාරයන් ගී ගයන "ජීවිතයට  අරුතක්" සංගීතමය සැඳෑවට ඔබත් එන්න,  ඇවිත් ආලෝකයක් වෙන්න  ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින  රජරට වකුගඩු රෝගී ජනතාව වෙනුවෙන්. එවිට ඔබටත් දැනේවි,  ඇසේවි සුවහසක් දනන් අතරින් ප්‍රේමයේ මල් පිපි සිනාසී  රජරට  තැනිතලාවේ  වියළි බිම සිසාරා මේ  හමායන්නේ  ජීවිතය යදින මිනිසුන් උදෙසා නැගෙන  ඒ ඔහුගේම  හඬ නොවේද කියා...

                   පාට එලලුවන් පුතණුව මා දෙනුවන් වන්
                කොතැනද සිරස නමන්නේ
                ගුණැති පුතණුවන් පෙම්බර පාට එළලුවන්
                කොතැනද දෙදණ නමන්නේ
                කාටද දෝත නගන්නේ

                නීල කඳු  ළැමද අතරේ නිම්න භූමියේ
                මීරි මවු කිරෙන්  ඉහිරෙන වතුර උල්පතයි
                පුතකු සිරස නමන්නේ එතැනයි
                දෙතොල තෙමන්නයි.

                වියළි බිමේ නිදිකුම්බා කටු යහනාවේ
                මහ පො‍ළෝ ගැබේ ප්‍රේමය පිපී හිනාවෙයි
                පුතකු දෙදණ නමන්නේ එතැනයි
                එමල සිඹින්නයි

                පා පැකිළ වැටී බෙලෙසුන් වී අගාධයේ
                මිනිසත්කම දනින් හොවින දුක්බර යාමේ
                පුතකු දෝත නගන්නේ එතැනයි
                අත්වැල වෙන්නයි

                ගේය පද:  රත්න ශ්‍රී විජේසිංහ
                සංගීතය: විශාරද ගුණදාස කපුගේ
                ගැයුම:  විශාරද ගුණදාස කපුගේ සමග ජයතිලක බණ්ඩාර

                “පාට එළලුවන්” ගීතය මෙතනින් අහන්න
             
සටහන:

ජයතිලක බණ්ඩාරයන්ගේ සංගීත ගමන් මග පිළිබඳව සටහනක් තබාගෙන යන අතර තුර “ජීවිතයට අරුතක්” වැඩසටහන ගැන දැනගන්නට ලැබුණි. ජයතිලක බණ්ඩාරයන් තමන්ගේ රෝගී වූ ගම වෙනුවෙන් එසේ හඬ මුසු කරද්දී මමත් ඒ මගේ ගම වෙනුවෙන් මේ සටහන මෙසේ සටහන් කර තබමි.

සුවහසක් මිනිසුන් අතරින් සාධු ජනයා සොයා ගිය “සාධු ජන රාව” ඊළඟ කොටසින්...



31 comments:

  1. ඒ ජනතාවාදී කලාකරුවාගේ මානවවාදී ඉදිරිපත් වීම වෙනුවෙන් අපගේ ද පූර්ණ සහයෝගය එම කාර්යය වෙනුවෙන් ලබා දෙන්නෙමු.

    ReplyDelete
    Replies
    1. තුසිත..

      මම මේ සටහනට ප්‍රතිචාර දක්වන්නෙ ප්‍රසංගයෙන් පස්සෙ.. ඔබවන් මානව හිතවාදි සොහොයුරෙක් රජරටදී හමුවීමත්, මේ ප්‍රසංගය වෙනුවෙන් කළ කැපවිමත් දුට‍ුවා. ඒක සදාකාලික මතකයක් වේවි.

      Delete
  2. හදවතට වගේම මනසටත් අමතන ගීයක්..

    සහභාගි වෙන්නට බැරිවුනත් මේ සුවිශේෂී කලකරුවාටත් නුවරකලාවියේ රෝගී වු ගොවි දෑත්වලටත් නිරෝගී සුව පතනවා..

    තුවාලට ඔඩු දුවන්නට හැර පැලැස්තර දමනවාට වඩා තුවාලය සුව කිරීමට අවැසි බුද්ධිය රටකරවන්නන්ට පහල වේව..

    ReplyDelete
    Replies
    1. රූ...

      මම මේ සටහනට ප්‍රතිචාර දක්වන්නෙ ප්‍රසංගයෙන් පස්සෙ.තරමක් කාර්ය බහුලව ගතකල දින කීපයක් නිසා..

      ඇත්තෙන්ම එදා ප්‍රසංගයේදි රජරට ගම් 10 පමණ ජනතාව මේ පරීක්ෂන සඳහා යොමුකරන්න අවශ්‍ය තරම් සම්පත් ලැබී තිබුණා. ඒ උතුම් පිංකමම අති නිරෝගීව දිවි ගෙවන්නට.
      ස්තූතියි රූ..

      Delete
  3. ලක්මවගේ නියම පුතුන් දෙදෙනෙක්!!!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි..

      මම මේ වෙනුවෙන් ලොකු දෙයක් කලේ නෑ. රජරට උපන් කෙනෙක් නිසා මේ සම්බන්ධයෙන් ප්‍රචාරක කටයුතු වලට සහය වූවා පමණයි.

      ස්තූතියි පොඩ්ඩි..

      Delete
  4. අපේ රටේ හෙළ අභිමානය සඳහා පෙළගැසුනු ඔබ දෙපළටම අපේ ආචාරය!
    එන්න නම් අමාරුයි දයා මල්ලී. නමුත් අපේ සහාය හා හද පිරි සුබ පැතුම්! මේ සත්කාර්‍ය සඳහා. තෙරුවනේ බෙලෙන් සැම සුවපත් වේවා!

    ReplyDelete
    Replies
    1. චාන්දි...

      මෙවැනි කාර්යයක් සඳහා පැමිණීමටත් වැඩිය මේ කෙරෙහි ඔව වන් කාරුණික හදවත් ඇත්තන් දැනුවත් විමම මේ ගමනට මේ කලාකරුවාණන්ට දිරියක් වේවි.

      ස්තූතියි ඔබටත්.

      Delete
  5. අප්පා.. අනුරාධපුරේනේ..
    එන්නනං බැරිවෙයි..
    ඒත් වැඩේට සුභ පැතුම්..
    ජයවේවා!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. තරියා...


      ස්තූතියි.. දිරිගැන්විමට... මමනම් අනුරාධපුරේ ගියා...

      Delete
  6. රෝගී වූ ගොවි ගම් නිරෝගී වේවා කියා පතනවා. මේ යහපත් වැඩේට මගෙනුත් සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. සයුරි...

      ස්තූතියි බෙහෙවින්ම...ඒ වගේම මේ දිරිගැන්විම මීට දායක වූ සියලු දෙනාටම අත්වැලක් වේවි.

      Delete
  7. බලන්න දයා මම තදින්ම විශ්ව්වස කරන දෙයක් තමයි, ලංකාවේ ජලය වර්ග දෙකකින් බෙදා හරින්න ඕනේ. බොන්න පුළුවන් වතුර වලින්ම තමයි කොළඹ ඇතුළු සෙසු පළාත් වල අය කාර් හෝදන්නේ, ගෙවල් හදන්නේ, මල් පැල වලට දාන්නේ. මම ඔය ගැන පොස්ට් එකකුත් දැම්ම මෙන්න මෙහෙම

    මා කල පර්යේෂණ කියලා.

    ඔබ දෙපල අරගෙන තියෙන පුංචි උත්සාහයට ඉත සිතින් සුබ ප්‍රාර්ථනා කරනවා. බ්ලොග් කරුවන් වශයෙන් අපිටත් මේ ගැන යමක් කල යුතුයි. මම මේ පළාත් වල ගිහින් තියෙන නිසා මේක මට හොඳින්ම දැනෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. සුදීක

      ඇත්තෙන්ම මම ඔබේ ලිපිය කියෙව්වා.. ජල සම්පත ගැන මිට වඩා උනන්දුවක් ඇතිවන කාලයකට අප යොමු කරාවි.

      විශේෂයෙන්ම ජල සම්පත බහුලව තිබුණත් අද ‍රජරට එක පිරිසිදු වතුර පොදක් හොයාගන්න අපහසු වෙලා.

      ස්තූතියි ඔබටත්.

      Delete
  8. සිතන පතන අයුරින්ම ඒ කටයුතු සාර්ථක වේවා කියලා පතනවා...

    සිංහ පුතුන්ට මාගේ ආචාරය !

    ReplyDelete
    Replies
    1. යසිත්..
      ස්තූතියි.. දිරිගැන්විමට..

      Delete
  9. රටට බත දෙන්නට , තම දිවි පරදුවට තැබූ ඔවුන් පිළිබඳව බලධාරීන්ගේ අවධානය මීට වඩා යොමු වේවායි පතන අතරේ මේ සත්කාර්යය ඉතසිතින් සාර්ථක වී හැකි පමණීන් ඒ “මිනිසුන්“ වෙත උපකාර වන්නට හැකියාව ලැබේවායි පතමි .

    ReplyDelete
    Replies
    1. මහේෂ්...

      ඇත්තෙන්ම එදා ප්‍රසංගයේදි රජරට ගම් 10 පමණ ජනතාව මේ පරීක්ෂන සඳහා යොමුකරන්න අවශ්‍ය තරම් සම්පත් ලැබී තිබුණා. ඒ උතුම් පිංකමම ඇති නිරෝගීව දිවි ගෙවන්නට.
      මේ වැඩසටහන මුහුණු පොත හරහා විශාල ප්‍රතිචාරයක් ලබාගෙන තිබුණා. ඒක තමයි අප ලැබූ ජයග්‍රහණය. ඔබත් එය කීප විටක් ‍බෙදාහැර තිබුණා. ඔබටත් බෙහෙවින්ම ස්තූතියි

      Delete
  10. ආඩම්බරයි ඔබ වැනි මිනිසුන් සිටින රටක ඉපදීම ගැනත්!

    ReplyDelete
    Replies
    1. වර්ෂා...
      ස්තූතියි.. දිරිගැන්විමට..

      Delete
  11. අගේ ඇති වැඩක්... එන්න තිබුණ නං තමයි හොද? ඒත් දුර වැඩි නේ... මගේ සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. තරූරසී...
      මෙවැනි කාර්යයක් සඳහා පැමිණීමටත් වැඩිය මේ කෙරෙහි ඔබව වන් කාරුණික හදවත් ඇත්තන් දැනුවත් විමම මේ ගමනට මේ කලාකරුවාණන්ට දිරියක් වේවි.

      ස්තූතියි ඔබටත්.

      Delete
  12. දැන්නම් ගොඩාක් දෙනෙකුගේ ඇස් ඇරිලා

    ReplyDelete
    Replies
    1. මම මෙතැනදී අදහස් කලේ දේශපාලකයෝන්ගේ.

      Delete
    2. අසරණයා...

      එහෙම ඇස් ඇරීමක් නෑ... එහෙම ඇස් ඇරෙන්නේ මැතිවරණ සමයේ පමණයි...ඒ නිසයි මේ දුෂ්කර වෑයමට මේ කලාකරුවා යොමුවුණේ.

      Delete
  13. වකුගඩු රෝගය රජරටට පිළිලයක් වෙලා තියන අවස්ථාවක රෝහීනට සරණක් වෙන්නට බලාපොරොත්තුවෙන් කරන්නට යන මේ සත්කාරය ඉතාම උතුම් කටයුත්තක්. සාර්ථක වෙන්න සුභපතනවා....
    මට බ්ලොග් පෝස්ට් සෑහෙන ගානක් මඟහැරිලා වගේ

    ReplyDelete
    Replies
    1. තොටියා...

      ඇත්තෙන්ම එදා ප්‍රසංගයේදි රජරට ගම් 10 පමණ ජනතාව මේ පරීක්ෂන සඳහා යොමුකරන්න අවශ්‍ය තරම් සම්පත් ලැබී තිබුණා. ඔබවන් සහෘදයෙකුට දැනෙනවා මේ බිහිසුනු රෝගයේ රජරට ප්‍රවණතාවය.

      ස්තූතියි...

      Delete
  14. මේ කාරණයේදී කවුරුත් නිහඩවතක් අනුගමනය කරද්දි මෙහෙම කිහිප දෙනෙක් හරි ප්‍රායෝගික තලයේ කටයුතු කිරීම කොයිතරම් වටිනා දෙයක්ද? ප්‍රභාකරන් අපේ මිනිස්සු මරන විට රට දෙක කරන මිනිස්සු වකුගඩු රෝගයෙන් රජරට මිනිස්සු මිය යද්දි පාඩුවේ තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නෙ ඒකෙන් යුද්දෙකින් වගේ දේශපාලන වාසියක් ලබන්න බැරි නිසයි. මිනිස්සුන්ගෙ ඡන්ද මංකොල්ල කන රැවටීමක් ඒ හරහා කරන්න බැරි නිසයි.
    එක් කලාකාරයෙක් හෝ පෙරමුණ ගැනීම අගනා මෙහෙවරකි.
    බලන්න එන්නනම් විදියක් නෑ.

    ReplyDelete
    Replies
    1. Outsider

      මෙවැනි කාර්යයක් සඳහා පැමිණීමටත් වැඩිය මේ කෙරෙහි ඔබව වන් කාරුණික හදවත් ඇත්තන් දැනුවත් විමම මේ ගමනට මේ කලාකරුවාණන්ට දිරියක් වේවි.අපි අපේක්ෂා කලෙත් එයයි.

      ස්තූතියි ඔබටත්.

      Delete
  15. ඒ ප්‍රදේශවල ජනතාවට වෙනත් දේවල්වලට කොහොම වෙතත් බොන්න සුදුසු වතුර ටිකක් ලබාදෙන පිළිවෙලක් හදනව නම් ලොකු පිනක් නේද.


    ඇත්තටම මේ වාගේ උදාර කටයුත්තක් කරණ ජයතිලක බණ්ඩාර මහත්තයටත් ඔබටත් ගොඩක් පින්.

    ReplyDelete
  16. මේ සත්කාර්යය කරන කරවන සැමට පින් අයිති වේවා!ගම්වාසීන්ගේ ලෙඩ දුක් සුව වේවා!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...