එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Tuesday 10 December 2013

෴ අපි එකම රෑනෙ කු‍රුල්ලෝ.... වරෙල්ලා මේ රෑනේ... ෴





             බ්ලොග් ලියන සරසවි සහෘදයන්ටයි මේ ඇරැයුම්.....

 ගෙවී ගිය සති දෙක තුනේ බ්ලොග් අවකාශයේ සහෘදයන් කීපදෙනක් එකතුවෙලා මාතලන් සහෘදයාගේ මූලිකත්වයෙන් අලුත් වැඩකට ආරම්භ කරල තිබුණා. යහපත් දැක්මක්, හොඳ අරමුණක් වෙනුවෙන් සමාජය මීට වඩා යහපත් තැනකට ගේන්න සහෘදයන් එකතුවෙන වෙලාවක අස්වැන්න ලියන මාත්  ඒ සහෘදයන් සමග ඔවුන්ගේ සද්කාර්යයට යම් තරමක අත්වැලක් සපයන්න කල්පනා කළා. මේ තොරතුර දැනටමත් බොහෝ දෙනෙක් දන්න නිසා මම “කැම්පස් සින්ඩිය” තොරතුර ඔබට ගෙනෙන්නේ තරමක් ප්‍රමාදවෙලා. ඒකට හේතුව ජාලයේ සැරිසරන කාලය පිළිබඳ පවතින ගැටලුවයි. ඒ නිසා මාතලන් සහෘදයා ඇතුළු සහෘදයන් පිරිසගේ මේ අලුත් වෑයම වෙනුවෙන් අද අස්වැන්න වෙන්කරන්න කල්පනා කළා.

අන්තර්ජාලයේ බ්ලොග් කලාව වර්තමානයේ අදහස් හුවමාරු කරගැනීමෙහි ලා ඉතාමත් සාර්ථක මාධයයක්, ආගම, කලාව, සංස්කෘතිය, දේශපාලනය ඔස්සේ සමාජයක යථාර්ථ හෝ කල්පිතය නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමත්, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් තරමක් දුරට ගිලිහී ගිය කාලයක නැවත ඒ සමාජය ගොඩනගන්නට හොඳ කතිකාවක් සමාජය තුළින්ම බිහි විය යුතුයි. ඒ සඳහා අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයයන් සහ උපාංග හෝ  මෙවලම් නිසිලෙස භාවිතයට ගැනිමත් කළ යුතුයි.

විශේෂයෙන්ම 70, 80 දශකවල මේ රටේ එකල සියලු විශ්ව විද්‍යාල හරහා ගොඩනැගුණ හරවත් සංවාද තුළින් නව දැක්මක් සහිත නිර්මාණ බිහිවුණා. එකල ගොඩනැගුණ මේ විචාරශීලි සංස්කෘතික හා සාහිත්‍යමය වටපිටාවත්  ගොඩනැගුණේ මේ හරවත් සංවාද මගින්. එසේම එකල බිහි වූ සාහිත්‍ය හෝ සංස්කෘතික වටිනාකම් ඇති නිර්මාණ, ඒ නිර්මාණවල පසුබිමේ සිටි නිර්මාණකරුවන් සහ ඒවාට පුරෝගාමීත්ව සැපයූ මිනිසුන් අදටත් සාහිත්‍ය සංගීතය සිනමාව, විචාරය ඈ සකලවිධ කලාවන් තුල දැවැන්තයන්. ඔවුන්ට ඒ සියලු ජවයන් ලැබුණෙ එකල සරසවි පද්ධතිය තුළ තිබූ සංවාද විසංවාද මගින්.


පසු කාලයේ සමාජය තුළ  ඇති වූ  විවිධ දේශපාලන  සංකූලතාවයන් එක්ක ආගම, කලාව, සංස්කෘතිය සහ දේශපාලනය සම්බන්ධයෙන් තිබූ තරුණ සංවාද විසංවාද අකර්මණ්‍ය වෙලා මුලුමහත් සමාජයම රෝගී වෙනව. අද වන විට  අදහස් ප්‍රකාශ කිරීම සහ විචාරශීලි නොවීමේ හේතුවෙන් වර්තමාන සමාජයම නිද්‍රාවකට පත්වෙලා.



ඒ අයුරින් නිද්‍රාවට ‍එහෙමත් නැත්නම් අකර්මණ්‍ය බවට පත්වූ තරුණ අදහස් ප්‍රකාශනයේ සහ නිර්මාණශිලි ලේඛකත්වයේ හැකියාවන් ආයෙමත් ගොඩගන්න ඇති කළ වෑයමක් තමයි ලංකාවෙ සියළුම සරසවි වල අධ්‍යන කටයුතු වල නිරත වෙන සහ නිරත වූ සහෘදයන් අතරින් බ්ලොග් ලියන සහෘදයන් වෙනුවෙන් වෙන්වූ “කැම්පස් සිංඩිය”. මේක අලුත් වෑයමක්, අලුත් මාවතක්, අලුත් දැක්මක් වෙන්නෙ බ්ලොග් අවකාශයේ සැරිසරන  අපේම සහෘදයන්ට.

බ්ලොග් කළාවේ උන්නතිය වෙනුවෙන්, යහපත් සිතිවිල්ලෙන් පටන් ගත්ත හොඳ වැඩක්, වැඩේ පටන් ගන්න පළමුව වැඩේ සාර්ථකයි කියලා හිතෙනවා. නමුත්, එවැනි සහෘදයන් එකතු කිරිමත් ඒක දිගටම ගෙනියන එක සංනිවේදන කුසලතාවයෙන් හෙබි විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ නිරත වූ හෝ තවමත් නිරතවන බ්ලොග් ලියන ඔබේ යුතුකමක්.



ඔබ කැමති නම් මෙන්න ‍තොරතුරු ලබාගැනිම සඳහා  ඊමේල් ලිපිනය campuscyndi@gmail.com  ඒ වගේම කැමපස් සිංඩිය ගැන තව තොරතුරු එතනින් ලබාගන්න පුළුවන්.

ඒත් ඉතින් අස්වැන්න ලියන මට ඔය කතාව ඔය ආකාරයෙන් කිව්වට ටිකක් මදි මදි වගේ කොහොම වුණත් කියන ඕනෙම දෙයක් ගීතයෙන් කිව්වාම කියනදේ කාටත් වැටහෙනවා. සාමාන්‍යයෙන් අස්වැන්න ලියන සටහනකට ගීතයක් එකතු නොවුණොත් ඒකත් අඩුවක් වගේ දැනෙනවා. ඒ නිසා මෙච්චරවෙලා මම කිව්ව කැම්පස් සිංඩියට ගැලපෙනම ගීතය මේක තමයි කියල මට හිතෙනවා. මම වැඩිය මොනවත් නොකිව්වත් මේ ගීතය ඒ සියලු දේවල් කියනවා...අහල නැත්නම් අහලම බලන්න...

මේ ගීතය ලියූ පද රචකයා ගැන මගේ කිසිඳු ප්‍රසන්නතාවයක් හෝ පැහැදිමක් නැතත් ගීතයෙන් කියවෙන අදහසට කැමැතියි.



අපි එකම රෑනෙ කුරුල්ලෝ

මේ පාරාදීසේ

නෑ වෙන්වන්නේ නෑ තනි‍වන්නේ

වරෙල්ලා මේ රෑනේ




මදු තියලා දැල් එළලා

නෑ පැටලෙන්නේ අපී

අපේම ලොවකට පියඹා යන්නේ

වරෙල්ලා මේ රෑනේ



තටු ලැබුණේ පියඹා යන්නයි

කූඩුව දොරකඩ ඉන්න නොවේ

අපේම ලොවකට පියඹා යන්නේ

වරෙල්ලා මේ රෑනේ

පදරචනය: ඇල්ලේ ගුණවංශ හිමි

සංගිතය: සහ ගායනය: විජේසුන්දර වේරගොඩ
                        










Sunday 1 December 2013

෴ ජෝතිමත් ගීතයේ සරත් සමය..෴





එච්.ආර්.ජෝතිපාල ගැයූ ගීත වලින් වර්තමාන සංගීත රසිකයන්ගේ අවධානයට පාත්‍ර විය යුතු යැයි හැ‍ඟෙන ගීත තෝරාගනිමින් කෙරෙන මේ කතාබහේදී ඔහුගේ සංගීත දිවියේ වැදගත්ම හැරවුම් ලක්ෂයක් වෙත අද ඔබ කැදවමි.

ශිල්පියකු ගැයූ ජනප්‍රියම ගීතාවලියකින්  ගීත තෝරා ගනිද්දී ඒ ශිල්පියාගේ සංගීත දිවියේ කඩඉම් සලකුණු කළ ගීත  ඔහුට පමණක් නොව ඔහු වටා රැඳීසිටි රසිකයන්ටද වැදගත් වන්නේ රසිකයන්ගේ  රසවින්දනාත්මක ඉසව්ද ඒ ගීත මගින් ස්පර්ශ කර ඇති බැවිනි. අද මේ සටහනේදි අහන්නට ලැබෙන ගීත ඔහුගේ නිර්මාණ දිවියේ කුමන ආකාරයකින් වැදගත් කමක් උසුලන්නේ ද  යන්න ඔබටම නිගමන කල හැකි ය.

ජෝතිපාලගේ සංගීත දිවියේ ඔහුට හමුවූ මධුර ගී හැදූ සරත්ලා සිවු දෙනෙකි.සරත් දසනායක, සරත් බාලසූරිය, සරත් ද අල්විස් සහ සරත් වික්‍රම යන සංගීත වේදීන් සිවු දෙනා ය. ඔවුන් හතර දෙනාගෙන් සරත් බාලසූරිය ජෝතිපාලට සැළකිය යුතු ගීත ප්‍රමාණයක් නිර්මාණය කර නැති වුවත් ඉතිරි තිදෙනා ජෝතිපාලට මධුරතර  සංගීත නිර්මාණ කළ සංගීත වේදීන් බව කිව යුතුම ය. ඒ නිසා ඉඩක් ලැබෙන පරිදි ජෝතිට ගී හැදූ මේ සරත්ලා හතරදෙනාගේම එකිනෙකට වෙනස් වූත් මධුරතර වූත් ගී තනු නිර්මාණ ගැන අස්වැන්නෙන් කිසියම් ප්‍රමාණයකට සඳහන් කිරිමට අපේක්ෂා කරමි.

ඒ අනුව අද මුල්වරට කතාබහට ලක් කරන්නේ සිංහල සිනමා සංගීතයට පුරෝගාමී මෙහෙවරක් කළ අග්‍රගණ්‍ය සංගීත වේදී සරත් දසනායකයන් එච්.ආර්.ජෝතිපාලට හැදූ රම්‍ය වූත් මධුරතර වූත් ගීත පිළිබඳව ය. ඒ නිසා අපි ඒ ගීත අහන ගමන්ම මේ කතාබහ කරමු.

නීල දෑස පුරා - සිහින ලොවෙන් පෙරා
වෑහෙ කැලුම් නුරා - මා ඔබේ පෙම්බරා
සසරෙ එකට සරා - පැමිණ පෙරුම්පුරා
ගියද නොසිතු යුරා - මා ඔබෙ පෙම්බරා

මිහිරි සුවඳ ඔබේ - ම හදවතට එබේ
පෙරදි දිනක බවේ -ලදිමි මෙවන් සුවේ
සසරෙ එකට සරා - පැමිණ පෙරුම්පුරා
ගියද නොසිතු යුරා - මා ඔබෙ පෙම්බරා


මාද ඔබද මෙසේ - දෙපොල දෙතැන වෙසේ
දිනෙක  මෙලොව කුසේ - පතමි රැ‍ඳෙන ලෙසේ
සසරෙ එකට සරා - පැමිණ පෙරුම්පුරා
ගියද නොසිතු යුරා - මා ඔබෙ පෙම්බරා


 පද රචනය: කරුණාරත්න අබේසේකර
සංගීතය: සරත් දසනායක
ගැයුම: එච්. ආර්.ජෝතිපාල



කේමදාසයන් හැරුණු විට ජෝතිපාලට හොඳම සහ මධුර ස්වතන්ත්‍ර ගීත හැදුවේ සරත් දසනායක ය. ජෝතිපාල‍ගේ ගීතවල සාර්ථකම සහ හොඳම ගී තනු අපට හමුවන්නේද සරත් දසනායක - ජෝතිපාල සම්බන්ධතාවය ඇති වූ පසුව ය. එසේ ජෝති - සරත්  සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ ඉතාමත් අපූර්ව සිද්ධි සමුදායක ප්‍රතිඵලයක් ලෙසිනි.

ඒ කතාව කියන්නට කලින් එක සඳහනක් කළ යුතුම ය. එනම් අස්වැන්න ලියන මට කිසිම දිනෙක පුද්ගලිකව සරත් දසනායක හමුවී නැත. එසේ වුවත් ඔහු කෙරෙහි මගේ හිතේ ඇති ගෞරවය එසේ ම පවතිද්දී  මෙතැන් පටන් මම ඔහුට “දසේ” යැයි කියමි. ඒ මන්ද ඔහුට දසේ කියා එවකට සංගීත ක්ෂේත්‍රයේ සිටි බොහෝ සමකාලිනයන් ඇමතුවේ ඒ නමිනි. මා ඔහුගේ සමකාලීනයෙකු හෝ මිත්‍රත්වයක් තිබුණ අයෙකු නොවුණත්  ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඔහු  ඇමතූ “දසේ” යන ආදරණීය නාමය මම ද මෙතැන් සිට භාවිතා කරමි.

ජෝතිපාලට හැදූ ස්වතන්ත්‍ර ගීතවලින් සියයට අසූවකටත් වඩා හැදුවේ සරත් දහනායක හෙවත් දසේ ය. හැත්තෑව අසූව දශකවල හින්දි සිනමාවේ සංගීත අඹර බැබල වූ ශංකර් ජායී කීෂන්, ආර්.ඩී. බර්මන් හින්දි චිත්‍රපට ගීතය හින්දි සිනමාවේ වර්ණවත් කළේ යම් සේ ද එසේ ම දසේ සිංහල සිනමා සංගීතය හින්දි අනුකාරකත්වයෙන් මුදවා ජනප්‍රිය හින්දි ගීවලට අභියෝග කළ හැකි ස්වතන්ත්‍ර මධුර ගී හැදූවේ ය. මා  මෙහි කතා කරන්නේ ජෝතිපාලගේ නිර්මාණ ගැන පමණක් වුවත් එයින් බාහිරව දශක තුනක් තිස්සේ සිංහල චිත්‍රපට 131 ක් සඳහා දසේ හැදූ මධුර ගීතාවලිය දසේගේ ලාංකේය සිනමා සංගීතයේ සළකුණ කුමක්ද යන්න විමසා බලන්නට මෙතෙක් නිසි විචාරයක් සිදුවී නොමැත. එසේ වූයේ හැත්තෑව දශකයේ සිනමා සංගීතය පවා කලාත්මක සහ වාණිජ වශයෙන් වෙන්කර තිබූ නිසාත් වාණිජ සිනමාව කලාත්මක සිනමාවෙන් බැහැර වූ නිසාත්ය.

සරත් දසනායක අඩසිය වසකට වැඩි ලාංකේය සිනමා සංගීතයේ යුග පුරුෂයෙකි. ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ එසේ යුග පුරුෂයන් යැයි කිව හැකි අය අපට සිටින්නේ දෑතේ ඇඟිලි ගණනටත් වඩා අඩු නිර්මාණකරුවන් පිරිසකි. ඒ තරමට ම අල්ප ය. එසේ ඔවුන් සිනමා සංගීතයේ යුග පුරුෂයන් යයි හැඳින්විමට අවශ්‍ය නිර්ණායක අපට සපුරා ඇත්තේ පස් දෙනෙකි. ඒ

1.      ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේව
2.      ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
3.      සරත් දසනායක
4.      ආචාර්ය වික්ටර් රත්නායක
5.       රෝහණ වීරසිංහ

ඔවුහු දීර්ඝ කාලයක් පුරා සංගීතයේ නියැලෙමින් දේශිය සිනමාවටත් සමස්ත ලාංකේය සංගීතයටත් සැබෑ මෙහෙවරක් කළා වූ දැවැන්තයෝ ය.  අමරදේවයන් සහ කේමදාස හැටේ දශකයේදීත්, සරත් දසනායක සහ වික්ටර් රත්නායක හැත්තෑව දශකයේදීත් රෝහණ වීරසිංහ අසූව දශකයේදිත් සිනමා සංගීතයට පුරෝගාමී මෙහෙවරක් කළාහු නිර්මාණකරුවෝ වෙති.

ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා
ඉහ ඉද්දර මම ඉන්නම් පවන් සල සලා

පෙම්බරයන් පෙම්බරියන්  වෙත කියූ කතා
පවසන්නම් සොඳුරියෙ මම ඔබට ගොත ගොතා
රුසිරු කොමල රුව රසඳුන් උලයි මගෙ නෙතේ
ඉසුරුමුණියෙ පෙම් යුවලද කියා මට සිතේ

හිත මාගේ හඳුනා ගත් පරමාදරියේ
ඔබ වාගේ සුන්දරියක් ඇත සීගිරියේ
අපේ ලොවට නවෝදයේ එළිය පාදනා
අලුත් ඉරක් පායනු ඇත හෙට උදෑසනේ


පද රචනය: කරුණාරත්න අබේසේකර
සංගීතය: සරත් දසනායක
ගැයුම: එච්. ආර්.ජෝතිපාල




සරත් දසනායක සංගීතය ක්ෂේත්‍රයේ පූර්ණ කාලීන සංගිත අධ්‍යක්ෂකවරෙයකු බවට පත්වන්නේ හැත්තෑව දශකය ආරම්භයේදී ම ය. 1968  / 69 කාලය වන විට දසේ චිත්‍රපට දෙකක සංගීත නිර්මාණ කටයුතු අරඹා තිබුණත් ඉන් වසර හතරක් පහක් හෝ දහයක්  පමණ කල් ගතවී ඒවා තිරගත වී ඇත්තේ හැත්තෑව දශකයේදි ය. ජෝතිපාල ගැයූ ගීත ගැන ලියවෙන මොහොතක මේ තරම් දිග විස්තරයක් ‍දසේ වෙනුවෙන් මේ සටහන තබන්නට සිදු වූයේ ජෝති - සරත් දසනායක සුසංයෝගය කෙබඳු ආකාරයෙන් ගොඩනැගුනේද යන්න ලාංකේය සංගීත රසිකයන්ට ගෙනහැර දැක්විම සඳහා ය.

             සේන - මිල්ටන් - සෝමේ- ජෝති - දසේ - අලුත් මගක....

ඒ හැත්තෑව දශකයේ ආරම්භය යි. ඒ දශකයේ සිංහල සිනමාවට නවක නළු නිළියන්මෙන්ම  චිත්‍රපට අධ්‍යක්ෂකවරු,  නිෂ්පාදකවරු සිංහල සිනමාව පිවිසි යුගය යි.  හින්දි සහ දෙමල කොපි චිත්‍රපට කලාවෙන් මිදුන කලාත්මක වාණිජ චිත්‍රපට නිෂ්පාදකයෙක් සිංහල සිනමාවට එබිකම් කරමින් සිටියේ ය. ඔහු වෙනින් කවුරුත් ‍නොව සේන සමරසිංහ ය. “සමරසිංහ චිත්‍රපට” කියූ පමණනින් හැත්තෑව දශකයේ සිනමා ලෝලීන්ට අමතක නොවන  තරම් රසාලිප්ත චිත්‍රපට හැදූ නාමයකි. සේනට ඕනෑ වූයේ කලාත්මක වාණිජ චිත්‍රපටයක් කරන්නට ය. සේන ඒ සදහා රංගනයට තෝරාගෙන තිබුණේ ගාමිණී - මාලනී - ජෝ- යන ප්‍රතිභාසම්පන්න රංගන ත්‍රිත්වය යි. කැමරාව මෙහෙයවිම මර්සලීන් පෙරේරාට භාර විය. එකල සිනමා කැමරාකරණයේ නමක් දිනාගෙන සිටි  මර්සලීන් ලෙස්ටර් ජේම්ස් පීරිස්ට සිටි හොඳම කැමරාකරුවෙකි. චිත්‍රපටයේ සංස්කරණ ශිල්පියාද අලුත් ය. සේනගේ චිත්‍රපටයේ තිර රචනය සහ දෙබස්  ලිවිම පැවරී තිබුණේ සෝමපාල ලීලානන්දට ය. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සඳහා මිල්ටන් ජයවර්ධනට පවරා තිබුණි. චිත්‍රපටයේ ගීත ගායනය සඳහා තෝරාගෙන සිටි ගායක ගායිකාවන් වූයේ  ජෝතිපාල - ඇන්ජලීන් - වික්ටර් - ඉන්ද්‍රාණි - එම්.එස්.ප්‍රනාන්දු ය. සේන - ගාමිණී - මිල්ටන්- සෝමේ චිත්‍රපටය ගැන කතාබහ කරන්නට නිතර නිතර හමු වූයේ රඹුක්කන පිහිටි සේනගේ නිවස ය. ඒත් සංගීතයට කෙනෙක් නැත. චිත්‍රපටයට රූ ගත කිරිමට සියල්ල සූදානම් ය. ඊට කලින් චිත්‍රපටයේ ගීත හැදිය යුතු ය. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයෙක් නැතුව අවුලකි.

“මචං ෆිල්ම් එකේ මියුසික් වලට පී.එල්.ඒ. සෝමපාල දාන්ඩ කියලා සේන කියනවනෙ”

මිල්ටන් ජයවර්ධන සෝමපාල ලීලාන්දට කීවේය.

“යමං අපි සේනව හම්බවෙලාම සේන එක්ක කතාකරමු”

සෝමේ මිල්ටන්ට කීවේය. එදා රෑම ඔවුහු රඹුක්කනට ගියහ. ඒවන විටත් සේන සමරසිංහ පදිංචි වී සිටියේ රඹුක්කන ය. සෝමේටත් මිල්ටන්ටත් අවශ්‍ය වූයේ චිත්‍රපටයේ මියුසික් කරන්න සරත් දසනායක දාගන්නට ය. සේන ඒ වැඩේට එතරම් මනාපයක් දැක්වූයේ නැත. ඒ නිසා කෙසේ හෝ දසේ මේ චිත්‍රපටයට දමා ගැනිමට සේන සමරසිංහ කැමති කරවා ගැනිම මිල්ටන්ගේත් සෝමේගේත් එකම අරමුණ විය.

සෝමපාල ලීලානන්ද
 දසේ ඒ කාලේ පාසැල්   ගුරුවරයෙකි. ඒ වන විටත් සිතිජය සහ විශ්මය චිත්‍රපටවල සංගිතය සරත් දසනායක විසින් අධ්‍යක්ෂණය කර තිබුණත් ඒවා පෙන්නලා නැත. ඊටත් වඩා ඒවායේ ගීත ගායනා කර තිබුණේ අමරදේව - ටී.එම්. - නීලා - වික්ටර් - නන්දා - සනත් වැනි සාශ්ත්‍රීය මට්ටමේ ගායක ගායිකාවන් ය. එවන් පසුබිමක සිට සරත් දසනායකට සේනගේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය පවරන්නට සේනගේ කැමැත්ත නැත. හේතුව ඒකාලේ චිත්‍රපටවලට මිනිස්සු ආවේ නැගලා යන සිංදු අහන්නට ය. සෝමෙගේත් මිල්ටන්ගේත් ඉල්ලිමට සේනගෙන් පිළිතුරු ලැබෙන්නේ ආර්ථික විද්‍යාවේ න්‍යායන් ගෙනි.

“දැන් බලන්නකො මිල්ටන් ඔයා අලුත් ඩිරෙක්ටර් කෙනෙක්. සෝමෙ අලුත් රයිටර් කෙනෙක්. ගාමිණීල , මාලනීල, ජෝ දාලා අලුත් කැමරාමන් කෙනෙක්, සංස්කරණයත් අලුත්.  එහෙම එකේ අලුත් ෆිල්ම් එකක්. අනික මේ කාලේ හොඳට දුවන ෆිල්ම් එකක්  වෙන්ඩ නම් මට ඔනෑ මේකට ජෝතිපාල -ඇන්ජලින්  - එම්.එස්. දාල මියුසික්වලට පී.එල්.ඒ. සෝමපාලව දාගන්න."

මේ විදයම් කරන්නෙ සල්ලිනේ. අපි මේ වියදම් කරන සල්ලි ටික ආපහු ආවොත්නෙ මට තව එකක් කරන්න පුළුවන් වෙන්නෙ.”

ඒ සේනගේ ආර්ථික විද්‍යා පාඩම ය.

“දසේ කියන්නෙ ක්ලැසික් පොරක්......” සෝමපාල ලීලානන්ද ද පරාජය බාර නොගෙනම කීවේය.

“හරි..... දසේ ජෝතිපාලට කරපු සිංදු නැද්ද” සේන සත්තමක් දැම්මේ ය.

“බඩු තියෙනවා” සෝමේ ද වැඩේ අතහරින්නේම නැත. මිල්ටන් නිහඬවම සෝමේ දෙස රවා බැලුවේය.

“අහල බලමු එහෙනං”

“හරි.. ලබන සුමානෙ අපි දසේ කරපු හොඳ සිංදු ටිකක් සේනට පෙන්නන්නම්.” සෝමේ ඇඟටපතට නොදැනී කියා දැම්මේ ය.

සෝමෙත් මිල්ටන් ජයවර්ධනත් එදා මැදියම් රැයේම රඹුක්කන සිට කොළඹට එන්නට පිටත් විය. හාත්පස වෙලාගෙන තිබූ අන්ධකාරයේ නිහැඬියාව බිදිමින් මිල්ටන් හඬ අවදි කළේය.

“උඹ මොකද බං සේනට බොරු කිව්වෙ දසේ කරපු ජෝතිගෙ සිංදු පෙන්නනං කියල”

“මචං මිල්ටන් , දසේ කරපු ජෝතිගෙ සිංදු හතරක් තියෙනවා”
“පිස්සුද උඹට දසේ කොහෙද ජෝතිට සිංදු කළේ”

මිල්ටන් සත්තමක් දැම්මේ ය. සෝමේ එතෙක් සඟවාගෙන සිටි රහස හෙළි කරන්නට විය.

“ නෑ මචං, දසේ ජෝතිට සිංදු හතරක් කරල තියෙනවා. තාම තැටි නිකුත් කරල නෑ. හැබැයි දසේ ඒව වෙනත් කෙනෙකු‍ට විකුණලා”

සෝමපාල ලීලානන්ද මිල්ටන්ට කීවේ ය.


මල්සර මල් දුන්නේ - මල් හි සැර එන්නේ
මගෙ දෙනෙතෙහි සැංගී - කවුරුද සැතපෙන්නේ

නිසසල තනි ලිය ගොමුවේ - චංචල සුළඟකි හැමුවේ
නුපුරුදු සිතුවිලි බිහිවේ - එනු හිනැහෙනු මා හමුවේ

බෙද බෙද මධුරස මියුරූ - සුව ගෙන දෙන මට නුහුරූ
සැඟවෙනවද කොයි කවුරූ - එනු මැන පෙන්වා රුසිරූ


පද රචනය: කරුණාරත්න අබේසේකර
සංගීතය: සරත් දසනායක
ගැයුම: එච්. ආර්.ජෝතිපාල


                  

සංගිතයට ලැදි මුස්ලිම් තරුණයෙක් සිටියේ ය. ඔහු නමින් ශාන් ය. යහමින් මුදල් හදල් තිබුණ ඔහුට ජනප්‍රිය වීමේ නොතිත් ආශාවක් තිබුණි .  ශාන් බෙහෙවින්ම සංගිතයට ඇලුම්කමක් දැක්වූ අයෙකි. යම් ප්‍රමාණයක සංගීතය පිළිබඳ දැනුමක් තිබුණත්  ඔහුට අවශ්‍ය වූයේ එච්.ආර්.ජෝතිපාල යොදාගෙන ඒවායේ සංගීත නිර්මාණ තමන්ගේ  තහවුරු වන විදියට  ගීත හරතරක් නිෂ්පාදනය කර වෙළඳ පොලට නිකුත් කරවා ගැනිමට ය. ඒවන විටත් ලංකාවේ ගී තැටි නිෂ්පාදනය සහ අලෙවිය බෙහෙවින්ම ජනප්‍රියවී තිබුණි. ජෙම්ටෝන්, සිල්වර් ලයින්, සූරිය, සහ සරස්වතී වැනි ලේබල් වලින් අලෙවි වූ ගී තැටි වලට වෙළඳ පොලේ හොඳ ඉල්ලුමක් ද   තිබුණි.

ශාන් තමගේ ඉල්ලීම සරත් දසනායක වෙත ඉදිරිපත් කර තිබුණි. සංගීතය ශාන්ගේ  යැයි සඳහන් වන ගීත හතරක් ජෝතිපාල ලවා පටිගත කර දෙන එක සුදුසු ද නැද්ද යන්න දසේට ගැටළුවක් ව තිබුණි. දසේ මේ ගැන විමසුවේ සෝමපාල ලීලානන්ද ගෙනි.

“කමක් නෑ හොඳට ගෙවනවා නම් කරන්න”

සෝමේ දසේට කීවේ ය. දසේ කරු අයියා (කරුණාරත්න අබේසේකරයන්) ලියාදුන් ගීත හතරකට තනු දමා පටිගතකර  ශාන්ට දී මුදල් ලබාගෙන ය. ගීත අඩංගු හඬ පටය තැටි කැපීම සඳහා සෝමපාල ලීලානන්ද ට භාරදී තිබුණි.  තවමත් ගී තැටි කැපී නැත. ගීත තැටි වෙළඳපොලට නිකුත්වන විට ඒවා දසේගේ නොවුණත් ඒ ගීත ඇත්තටම දසේගේ ය.

“මම ඒ ගීත හතර සේනට ගහලා පෙන්නනවා”

එදා රෑ සෝමේ රඹුක්කන සිට කොළඹ බලා එන ගමන්ම මිල්ටන් ජයවර්ධනට කීවේ ය . ඒ රාත්‍රියේදිම සෝමේ ඒ දැඩි තීරණයට එළඹුණේ කෙසේ හෝ සරත් දසනායක  සේනගේ චිත්‍රපටයට දමාගැනිමට ය.

“ඒත්  ඒ තැටි අවුට් වෙන දාට බොරුව එළි වෙනවන”   මිල්ටන් කීවේය.

“ඒ එළිවෙන්නෙ ශාන් කරපු බොරුවනෙ මේ කතාවෙ ඇත්ත එළිවෙන්නෙ මං මේ කතාව එළි කරපු දවසටනෙ” සෝමේ මිල්ටන්ට කීවේය.

දින කීපයකින් මිල්ටන් සහ සෝමේ ‍සරත් දසනායක විසින් ජෝතිපාලට නිර්මාණය කළ ඒ ගීත හතර ඇතුළත් හඬ පටයද රැගෙන සේන සමරසිංහ හමුවීට රඹුක්කන ගියහ. ගීත හතර සේනට අහන්නට සැලැස්වී ය. සේන විශ්මයට පත් කළ ගීත හතරක් එහි විය. මේ එදා සේන ඇසූ සරත් දසනායක ජෝතිට මුල්වරට හැදූ  ගීත හරයි.

1.      නීල දෑස පුරා
2.      ඔබ නිදන්න ඔබ නිදන්න
3.     මල්සර මල් දුන්නේ
4.     අද අමුතුම රැයකී.

ගීත හතර ඇසූ පමණින් සේනගේ අදහස් සියල්ල සම්පූර්ණයෙන් වෙනස් විය. සරත් දසනායක සේනගේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට දමා ගැනිමට සෝමේ සහ මිල්ටන් කළ දැවැන්ත සටනින් ඔවුන් දෙදෙනාට ජය අත්විය. 

මේ දැක්වෙන්නේ එදා දසේ මුල්වරට ජෝතිපාලට හැදූ අති මධුර ස්වතන්ත්‍ර ගීත හතරයි. බොහෝ දෙනෙක් මේ ගීත අසා ඇතත්, යමෙකුට නැවත නැවතත් මේ ගීත අහන්නට අවශය නොවුණත්  මේ කතාවත් සමග ඒ ගීත හතර අමරණිය ඉතිහාසයක් ජෝතිපාලගේ ගීත ලැයිස්තුවට එකතු කර තිබේ.

 අද අමුතුම රැයකී - හොඳ සිතල පැයකී
අඳුරු වලා වැළකී  - මගෙ හිත සතුට දකී

ගණ නිල් වරලින්නේ - මල් සුවඳකි එන්නේ
හද විනිවිද යන්නේ - නෙත් යුග  පිබිදෙන්නේ

නිලුපුල් වැනි දෑසේ - සැතපි ඇති රහසේ
                             තේරුම තෝරාලා -දෙනු මැන හිනැහීලා

සුලලිත මුදු වරලේ - අඩවන් සඳ බැබලේ
නාදලු බඳු දෙතොලේ - සිහිවෙයි මධු කොතලේ


පද රචනය: කරුණාරත්න අබේසේකර
සංගීතය: සරත් දසනායක
ගැයුම: එච්. ආර්.ජෝතිපාල



මේ අතීත පුවත මගේ නිර්මාණයක් නොවේ. එච්.ආර්.ජෝතිපාල, කරුණාරත්න අබේසේකර සහ සරත් දසනායක යන ජනප්‍රිය සංගීතයේ මහා විස්කම් කළ ත්‍රිමූර්තියම අද අප අතර නැත. එසේම මධුර චිත්‍රපට හැදූ සේන සමරසිංහ - සෝමපාල ලිලානන්ද - මිල්ටන් ජයවර්ධන - සරත් දසනායක සිවුමහා බලකණුවලින් අද අපට සිටින්නේ සේන සමරසිංහ සහ සෝමපාල ලීලානන්ද පමණි. ජෝතිපාල - සරත් දසනායක  අපූරු සුසංයෝගය බිහිකළ මේ අතීත පුවත මුල්වරට හෙළිකර තිබුණේ මීට වසර කිපයකට කලින් සෝමපාල ලිලානන්ද විසිනි. ඒ ඔහු අතීතර සැමරුම් ඇසුරින් ඔහු ලියා පළ කළ “පාට පොදක ගමන් විත්ති” කෘතියෙනි. ගීත වගේම ඒ ගීතවල නොපෙනෙන ඇතුලාන්තය වඩාත් මිහිරි වන්නේ ඒ නිසා ය.

ඊළඟ කොටසින් සේන - මිල්ටන් - සෝමේ - සහ දසේ - ජෝති- සමග එක රැයින් ජනප්‍රිය සිනමා සංගීතය කණපිට පෙරලූ හැටි.....෴


ආශ්‍රිත ග්‍රන්ථ:
           මෙහි අතුළත් තොරතුරු සහ දෙබස් උපුටා ගැනිම:
01.                          පාට පොදක ගමන් විත්ති - සෝමපාල ලීලානන්ද  කෘතියෙන්
02.                          තිස්වසරක සරත් සර - සමරුව 1999


Related Posts Plugin for WordPress, Blogger...